දිවිදොස්ගල නියමු ගවේශණය - 2021
2021-03-28 දින පේරාදෙණිය විශ්වවිද්‍යාල විද්‍යා පීඨය අසලට එක්රැස් වූ ගවේශකයන්ගේ සංගමයේ පිරිස සිය 28 වන නියමු ගවේශණය ආරම්භ කිරීමට සූදානම්ව සිටියහ. ජීවිතයේ සිය ප්‍රථම නියමු ගාව්ශණයට සූදානම් වන ගවේශකයින් 15 දෙනෙකුගේ නැවුම් උද්දාමය පිරි බලාපොරොත්තු සමඟ ජේෂ්ඨ සාමාජිකයන්ද එක්වූ කණ්ඩායම විසිදෙදෙනෙකුගෙන් සමන්විත විය. උදෑසන 8.00 ට පමණ එක්රැස් වූ පිරිස කෙටි හඳුනාගැනීමකින් අනතුරුව ව්ශ්වවිද්‍යාල භූමියේ සිට ගලහ මංසන්ධියේ වෙත ගමන් ඇරඹූහ. කොපමණ වාර ගණනක් විද්‍යා පීඨයේ සිට ගලහ මංසන්ධිය වෙත ගලහ පාරේ ගමන් කර තිබුණ ද මෙවර එම ගමන සතුට, සංත්‍රාසය පිරි අපූරු ආස්වාදයක් ගෙන දෙන්නට විය. මහනුවර නගරයේ නගරයේ සිට 8km පමණ දුරින් පිහිටා ඇති තවමත් සංචාරක වශයෙන් අප්‍රසිද්ධ සුන්දර ස්ථානයක් වන දිවිදොස්ගල, පේරාදෙණිය නගරයේ සිටද 3km දුරින් පිහිටා ඇත. මෙවර පේරාදෙණිය විශ්වවිද්‍යාල ගවේෂනයින්ගේ නියමු ගවේශනය වූයේ මෙම දිවිදොස්ගලය.
උදෑසන පමණ වන විට ගලහ මංසන්ධියට පැමිණි අප එතැනින් හැරී පේරාදෙණිය උද්භිද උද්‍යානයේ එක් පසක් පසු කර පේරාදෙණිය පාළම හරහා එතෙර වූයේ මහවැලියටත් ආයුබෝවන් කියාගෙනමයි. වැස්සෙන් පෝෂණය වූ මහවැලිය බොර පැහැයක් ගෙන තිබුණි. එතැනින් කොළඹ පාරට හැරුණු අප කඩ වීදිය ඹස්සේ ඉදිරියට ගෙස් ආපසු හැරී ගන්නෝරුව දෙසට වන ප්‍රධාන මාර්ගයේ ගමන් කළෙමු. කොළඹ නුවර බස් නැවතුම හා යුධ හමුදා පාසල පසුකළ අප ඉන් ඉදිරියේ වූ ගන්නෝරුව – මුරුතලාව අතුරු මාර්ගයට හැරුනෙමු. එම මාර්ගයේ ටික දුරක් ගමන් කල විට හමුවන රණබිම රාජකීය විද්‍යාලය පසෙකින් ඇති අතුරු පාරේ ගමන් කල අප මඟ දෙපස නිවාස පසුකරමින් ඉදිරියට ගමන් කලෙමු. මේ රණබිම ගම්මානයයි. එයට එම නම ලැබී ඇත්තේ පෘතුගීසි සමඟ සිදුකල ගන්නෝරු සටන මෙහිදී සිදු වූ බව කියවෙන නිසාය. එතැන් සිට කොන්ක්‍රීට් මාර්ගයක ගමන් කල අප මුලින්ම වනයට ඇතුඵ වීමට තෝරාගත් මග ආරම්භ වූයේ පඩිපෙල් සහිත මගකිනි. නමුත් එහි ගම්වැසියන්ගේ අදහස වූයේ එම මාර්ගයේ ගමන් කිරීම අපහසු බැවින් අනෙක් මාර්ගය යොදා ගැනීම කල යුතු බවයි. ඉන්පසු නැවතත් හැරුණු අප තවත් කුඩා අතුරු මාර්ගයකට හැරී කුඩා ක්‍රීඩාංගණයක් පසුකර වනයට ඇතු`ඵ වන සීමාවට ළඟා වීමු. තම ප්‍රථම නියමු ගවේෂණයට සහභාගී වන අප සිතට යම් චකිතයක් එක් වී තිබුනද විශ්වවිද්‍යාලයට පැමිණීමට පෙර සිටම, පේරාදෙණිය විශ්වවිද්‍යාල ගවේශකයෙකු වීමට තිබූ සිහිනය දැඩි ආශාව එම චකිතය යටපත් කළැයි සිතුණි. එතැන් සිට රක්‍ෂිතයට ඇතු`ඵ වූ අප කන්ද තරණය ආරම්භ කලෙමු. මිනිසුන් සහිත සීමාවෙන් වෙන් ව් වනයට ඇතු`ඵ වූ පසු වනයටම උරුම වූ අඳුරු පරිසරයත්, ස්වාභාවික තුරුලතාත්, කුරුල්ලන්ගේ නාදයත් අමුතුම ආස්වාදයක් ඇති කිරීමට සමත් විය. අතරමඟදී අසල නිවසකින් ජලය පුරවාගත් අප විනාඩි කිහිපයක් ගිමන් නිවා නැවත ගමන ආරම්භ කළෙමු. තුරුලතාවන්ගෙන් මෙන්ම ලොකු කුඩා පර්වතයන්ගෙන් ද අඩුවක් නැති දිවිදොස්ගල ජෛව විවිධත්වයෙන් ඉහළ පරිසරයකට උරුමකම් කියයි. ද්විතියික වනයක් වන මෙහි එක් අන්තයක දිවිදොස්ගලත් අනෙක් අන්තයේ තුත්තිරිගල නම් ගලත් පිහිටා තිබේ. තුත්තිරිගල සිට බලන කළ මහවැලි නදියේ පලලම කොටස දක්නා බව කියනු ලැබේ. කන්දේ උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර 755 ක් පමණ වේ.
විශාල සත්ව විශේෂ විවිධත්වයකට උරුමකම් කියන මෙහි ලංකාවට ආවේණික පක්‍ෂීන් ඇතුඵ සත්ව විශේෂ රැසක් ද, මෙම පරිසර පද්ධතියට පමණක්ම ආවේණික වු රණවණගේ මාපිලා නම් වූ සර්ප විශේෂයද හමුවේ. කුඩා ක්‍ෂීරපායී විශේෂය ද, සමනල විශේෂ හා කටුසු විශේෂයද මෙහිදී දැකගත හැකිය. නමුත් අවාසනාවකට කුරුල්ලන්ගේ නාදයත්, රිලවූන්ගේ පැනීමත් හැර අන් කිසිදු සතෙකු දැක ගැනීමට අපට නොහැකි විය.එලෙස දක්නට ලැබුනේ මෙම ප්‍රදේශ වල බහුලව දක්නට ලැබෙන සාමාන්‍ය ව්‍යවහාරයේ ‘රිලවා’ ලෙසත් Macaca sinicaයන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ලංකාවට ආවේණික වඳුරු විශේෂයකි. කඳුකර තෙත් හා කඳුකර වියළි වනාන්තර ලක්‍ෂණ වලින් හෙඹි මෙහි ප්‍රමුඛ ශාක ලෙස මහෝගනී, ගිනිසපු , වල්දෙල් , ඇටඹ ආදිය දක්නට ලැබේ. වන වගාවක් ලෙස හදුන්වා දුන් මහෝගනී ශාකය මෙහිදී අපට බහුල වශයෙන් දක්නට ලැබුණී. එසේම ගස් උඩ වැවුණු බේදුරු ශාක ද දක්නට ලැබිණි.
ඇඵත් මුහුණු වල සුහද හදුනාගැනීම්, සුහද කතාබහ මධ්‍යයේ ජේෂ්ඨයින්ගේ උපදෙස් අනුව ගමන් කළ අප පැය භාගයක පමණ ගමනකින් පසුව පහල පෙනෙන ස්ථානයකට පැමිණියද එය එතරම් පැහැදිලි දර්ශණයක් නොවීය. ඉන්පසු ගමන් ආරම්භ කල අපට අවට තොරතුරුත්, ඉතිහාසයත් ජේෂ්ඨ සාමාජිකයින් විසින් කියා දුන්හ.කුවේණිය විසින් විජය රජුට කල දිවිදෝෂය නම් ශාපය ඉන්පසු රජකළ පඬුවස්දෙව් රජුටද වැලදිණි. එයට පිළියම් ලෙස මලය රජුන්, ප්‍රථම කොහොඹාකංකාරිය පැවැත්වීම සඳහා මෙම ස්ථානයට ආසන්න ස්ථානයක් තෝරාගත් බව කියවේ. එම අදහසින් මෙම ස්ථානය දිවිදොස්ගල නම් නම ලද බව ගම්මුන්ගේ විශ්වාසයයි. මඳ දුරක් ගමන් කල අප ඉන්පසු කුඩා ගල් පර්වත කිහිපයක සහයෝගයෙන් ගෙනා කෑම මලු ලිහා ආහාර අනුභව කළෙමු. ආහාර ගැනීමේදී රිලා රංවුවක් අප වටකර ගත්හ. නමුත් ඔවුන්ගෙන් කරදරයක් නොවීය. ආහාර ගැනීමෙන් පසු නැවත ගමන් කිරීමට මඟ අමතක විම නිසා ජේෂ්ඨ සාමාජිකයින් මඟ සොයාගන්නා තුරු අප මඳ වේලාවක් රැදී සිටින්නට විය. මඳ වේලාවකින් නැවත ගමන් ඇරඹූ අප තවත් දර්ශන ස්ථානයකදී මහනුවර නගරයේ තවත් පසෙක සුන්දරත්වය ඉහල සිට අත්වින්දෙමු. නැවතත් ගමන් ආරම්භ කල අප අපගේ ගවේෂණයේ කේන්ද්‍රස්ථානය බඳු ස්ථානයකට පැමිණියෙමු. එළිමහන් ගල්තලාවක් වු එහි සිට බලන කළ මහවැලි නදියත්, මහනුවර නගරයත්, හන්තාන කඳුවැටිය හා තවත් ඈතට දිවෙන මනරම් කඳු පන්ති රාශියකුත් දක්නට ලැබිණි. ඉතාමත් සිත්ගන්නා සු`ඵ මෙම දර්ශනය අපගේ ගමන් විඩාව නිවාදමන්නට සමත් විය. ඈතින් එන මහ ක`ඵ වැහි වලාකු`ඵ ඈත වූ කදුපන්ති වල හිස් මුදුන් වසාගෙන පැමිණෙන අයුරු කිසිදිනෙක අමතක නොවන දසුනකි. ගල් තලාවේ වැතිර විඩා නිවාගත් අප, සංගමයේ සිරිත් පරිදි සුහඳ කතාබහක නිරත වී නැවතත් පල්ලම් බැසිමට පෙර මතක සටහන් ගොන්නට ඡායාරූප රැසක් එකතු කරගරනීමටද අමතක නොකලෙමු. නැවත ගමන් ආරඹා විනාඩි කිහිපයකට පසු ඝන වැහි වලා මෙම කුඩා කඳුගැටයද වසා ගනිමින් පරිසරය අඳුරු කලේය. සීතල සුළඟත් කුඩා වැහි පොදයත් කැලය මැද සිටින අපට ගෙන දුන්නේ පුදුමාකාර අත්දැකීමකි. ක්‍රමයෙන් වර්ෂාව තද වන්නට වුවද, වර්ෂාවද ආශිර්වාදයක් කොටගෙන නැවත ගමන් ඇරඹීමු. මහා වෘක්‍ෂ වලින් වැටුණූ පත්‍ර වලින් සෑදුනු ඝන කොළ තට්ටුවක් සාරවත් පසට උඩින් තිබුණි. එය යම්කිසි අවදානමක් එක් නොකලාද නොවේ. වර්ෂාව නිසා මඟ ලිස්සන සු`ඵ විය. ගමන තරමක් දුෂ්කර වුවද එය ගෙන දුන්නේ විශාල ප්‍රීතියකි. හොඳටම තෙත බරිතව ගමන් කල අපගේ තොලගට දහඩිය මුසුව එන ලුණූ රසද දැනිණි. මෙම ගවේෂණ අත්දැකීමේ යම් අඩුපාඩුවක් තිබුනේද එය වර්ෂාව විසින් සම්පූර්ණ කළාක් මෙනි. එලෙස එකිනෙකාගේ සහයෝගයෙන් ගමන් කල, අප පහලට එන විට වර්ෂාව නතර වී තිබුණි. එතැනින් අසල නිවසක් හරහා නැවත ආ මඟටම වැටුණු අප පෙර කී නිවස අසල වූ ජල කරාමයකින් මඩ සෝදාගත්තෙමු. වැස්සට තෙමීම නිසා සුළඟ දැඩි සීතලක් ගෙන දුනි. ඉන්පසු ක්‍රීඩාංගනය අසලින් රණබිම ගම්මානයට පැමිණී අප අතුරු පාර හරහා ගමන් කලෙමු. වනයේ එන අතර මඟදී ගෙන ගිය සියලු ද්‍රව්‍ය නැවත රැගෙන ඒමටත්, අතර මඟ තිබූ පොලිතින් ආදිය එකතු කරගෙන ඒමටත් අප වග බලා ගත්තෙමු. ආ මඟ ඔස්සේම නැවත ප්‍රධාන පාරට පැමිණි කණ්ඩායම විසිර යාමට පටන් ගති. කිහිපදෙනෙක් එතැනින් තම නිවෙස් බලා පිටත් වූ අතර අනෙක් පිරිස වූ අප නැවත විශ්වවිද්‍යාලය වෙත ඒමට පා ගමනින්ම ගමන් ආරම්භ කෙලෙමු. එලෙස ගලහ මංසන්ධිය වෙත පැමිණි අප තවත් සොඳුරු ගවේෂණ අත්දැකීමක මතක සිත් හි රඳවා ගනිමින්, තවත් එවැනිම ගවේෂණයකට බලාපොරොත්තු සිත් තුළ තබා ගනිමින් අපගේ නේවාසිකාගාර වෙත විසිර ගියෙමු.
රචනය - ශානිකා වීරසින්හ
සංරක්‍ෂණය – හිරුෂි නිසංසලා
ස්තූතිය - සිතිර ගුණවර්ධන
ජනනි දර්ෂිකා
ශෙහාන් හරිදු