පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගවේෂකයන්ගේ සංගමයේ 26/25 හත්වන ගවේෂණය ලෙස කබරගල ගවේෂණය 2025.08.10 දින සිදු කරන ලදී.
දිනය ; 2025/08/10
ගවේෂණ අංකය ; 07
ගමන් මාර්ගය ; පේරාදෙණිය-ගම්පොල-නාවලපිටිය-කබරගල-නාවලපිටිය-ගම්පොල-පේරාදෙණිය
පිහිටීම ;
හැඳින්වීම ;
සිතියමක y අකුරක හැඩයෙන් දිස්වන දොලොස්බාගේ කඳුවැටිය ප්‍රධාන කඳුවැටි දෙකකින් සෑදි ඇත. එහි ඊසන දෙසින් පිහිටි කබරගල, දොලොස්බාගේ කඳුවැටියේ උසම කඳු මුදුන ලෙස සැලකෙන අතර එය මුහුදු මට්ටමේ සිට 1506m උසකින් පිහිටා ඇත. එය ආසන්නයේ පිහිටි 1438m උසකින් යුත් රාක්ෂගල කන්ද කඳුවැටියේ දෙවන උසම කඳු මුදුන වේ.
මෙය සංචාරකයන්ගේ ඉමහත් ආකර්ෂණයට පසුගිය වසර කිහිපයේදී බඳුන් වී ඇති අතර එහි සතිඅන්තයේදී කඳවුරු බැඳගත් කඳු නගින්නන් සුලබ දසුනකි.
සාමාන්‍යයෙන් තරණය කිරීමට පහසු සහ දර්ශනීය දර්ශන පථය හේතුවෙන් මෙය කඳු නගින්නන් අතර
ප්‍රචලිත වන්නට ඇත.
දැකිය හැකි සත්ත්ව විශේෂ ;
කඳුකර පරිසර තත්ව නිසා ජීවත්වන විශේෂ සංඛ්‍යාව අවම වේ.
කඳු ආශ්රිත පක්ශීන් විශේෂ
කටුස්සන්, සර්පයන් වැනි උරග විශේෂ
ගෝනුස්සන්, පත්තෑයන් වැනි සත්ත්වයන්
බඹරුන්, මී මැස්සන් වැනි කෘමි විශේෂ
ඕලුමුවන්, ඌරන්, දිවියන්, කුළුමීහරක් වැනි ක්ෂීරපායින්
දැකිය හැකි ශාක විශේෂ ;
ලයිකන, පාසි ආදිය බැඳුණු ඇඹරුණු ශාක විශේෂ
මානා වර්ග
දර්ශන පථය ;
දෙවනගල
අම්බුලුවාව
නකල්ස් කඳු වැටිය
හන්තාන කඳු වැටිය
දොලොස්බාගේ කඳු ප්‍රදේශය
වවුල්ගල
කොටගල
ශ්‍රීපාදය
මොනරගල
පිදුරුතලාගල
ග්‍රේට් වෙස්ටර්න්
මහවැලි මහා සෑය
මානව ක්‍රියාකාරකම් ;
ශ්‍රී ලංකාවේ කබරගල හි මානව ක්‍රියාකාරකම් ප්‍රධානවශයෙන් කේන්ද්‍රගත වී ඇත්තේ එහි ප්‍රචලිත කඳවුරු බැඳීම නිසාවෙනි. මානව ක්‍රියාකාරකම් දේශීය ශාක හා සත්ත්ව විශේෂවල වාසස්ථාන අහිමි වීමට හේතු වී තිබේ. කඳදුරු බැඳීම් හේතුවෙන් කඳුකර ගිනි තැබීම් වැනි තත්ත්වයන්ද එසේම විධිමත් කසල කලමණාකරණයක් නොවන බවද මෙහිදී දැක ගත හැකි විය. ඍණාත්මක බලපෑම් අවම කිරීම සඳහා දේශීය ප්‍රජාවන් සම්බන්ධ කරගැනීමට සහ තිරසාර සංචාරක පිළිවෙත් මෙහෙයවීමට උත්සාහ ගැනීම මෙම පරිසර පද්ධතිය ඉතිරි පරම්පරාවන් වෙනුවෙන් ඉතිරි කර ගැනීමට වැදගත් වේ.
ගවේෂණ සටහන ;
විශ්වවිද්‍යාලයේ ගවේෂකයන්ගේ සංගමයේ 25/26 ගවේෂණ වාරයේ 07වන ගවේෂණය ලෙස කබරගල
ගවේෂණය සිදු කරන ලදී. 2025. 08.10 දින උදෑසන 7 වන විට ගවේෂකයන් හතලිහකට අධික ප්‍රමාණයක් විද්‍යා පීඨය වෙත පැමිණ සිටි අතර පෙ.ව.8.00 පමණ ගවේෂකයන් විශ්වවිද්‍යාලයෙන් පිටත් විය. ගමන ආරම්භ කිරීමට පෙර සියලු දෙනා කණ්ඩායම් 4 කට බෙදුන අතර එක් එක් කණ්ඩායම් එක් එක් මාතෘකා යටතේ ගවේෂණය කිරීමට වගකීම් බාරගන්නා ලදී. මෙලස ගවේෂණය ආරම්භ කල ගවේෂකයන් ගම්පොල හරහා නාවලපිටියට බස් රථයෙන් ගමන් කර ඉන් පසු නාවලපිටිය-දොලොස්බාගේ බස් රථයකින් අපගේ ගවේෂණ ආරම්භක ස්ථානය වන පරගල හන්දියට ලඟාවුණි. ඉන්පසු එතැන් සිට ශ්‍රී ජේතවනාරාමයට වන මාර්ගය ඔස්සේ ගවේශකයන්ගේ මංපෙත වැටී තිබිණි.
උදෑසන 10.30 පමණවන විට අපි එම ස්ථානයට ලඟා වුණෙමු. ආරම්භක මාර්ගය පැහැදිලි මාර්ගයක් වූ අතර මෙම මාර්ගය පංසල පිටුපසින් පෞද්ගලික ඉඩම් හරහා වැටී තිබූ අතර 500m පමණ එහි ගමන් කිරීමෙන් පසු අප තේ වත්තක් වෙත ලඟා වූ අතර එය කඳු පන්තියෙහි පහළ කොටස විය. ඉන්පසු අපගේ ගමන් මාර්ගය කුඩා අඩිපාරක් වූ අතර එය කඳු පන්තියේ දාරය දිගේ වැටී තිබිණි. අපගේ ගමන මධ්‍යයේදී අපට නැවත කඳු පන්තියේ ආරම්භය වෙත ලඟාවෙමින් සිටින කඳවුරු බැඳගත් ගවේශකයන් ද මුණගැසුනි. ක්‍රමයෙන් අප කඳු මුදුන වෙත ලඟාවෙමින් සිටින අතරමග කඳු වැටියෙන් පිටතට නෙරා පිහිටා කලු ගලක් දකගත හැකි වූ අතර එය මනරම් දසුනක්
මවයි. මෙය ඇතැම් තැනෙක "පහල බලන ගල" ලෙසද හඳුන්වා දී ඇත. මෙය මුදුනට තරමක් පහලින් වුවද මෙම ස්ථානයේ ද ගවේෂකයන් කඳවුරු බඳින බවට සාක්ෂි විය. මෙතැන් සිට මාර්ගය මදක් දුෂ්කර වූ අතර අප කුඩා පයිනස් කැලෑවක් තුලින් ගමන් කර අවසන කඳු මුදුන වෙත ලඟා විය. කඳු මුදුනෙහිද කඳවුරු බඳින බවට පැහැදිලි සාක්ෂි විය. දහවල් 1.00 පමණ වන විට අපි කබරගල මුදුනට පැමිණ දහවල් ආහාරය ලබා ගන්නාලදී.
සියලු දෙනාම ආහාර ගැනීමෙන් පසු එකිනෙකා හඳුනා ගන්නා ලදී. මේ වන විට මීදුම නොතිබූ හෙයින් අපට පැහැදිලි දර්ශන පථයක් තිබූ අතර ගවේෂකයන්ගේ සංගමයේ සාමජිකයෙකු විසින් දර්ශන පථය හා ආවේණික ශාක පිලිබද විස්තර කරන ලදී. ගවේශකයන් ඡායාරූප ගනිමින් සිටියදී දර්ශන පථය මුලුමනින්ම මීදුමින් වැසී ගිය අතර එය ද වෙනස් අත්දැකීමක් විය. සියලුදෙනා ඡායාරූප ගැනීමෙන් පසු අපි නැවත ගමන් ආරම්භ කළෙමු. අපගේ ගමන පුරාවටම දැකගත හැකිවූ දෙයක් නම් පැහැදිලි පරිසර දූෂණයක් සිදුවෙමින් පවතින බවයි. මෙහි සුලබව කඳවුරු බඳින නිසාවෙන් මෙය සිදුවන්නට ඇත. එහෙයින් අපගේ ගමන පුරාවට අපට සැලකිය යුතු කසල ප්‍රමාණයක් එකතු කිරීමට විය. එසේම මෙම ගමන් මාර්ගයේ කිසිඳු තැනක පිරිසිදු දිය කඩිති දැකගත නොහැක. එහෙයින් ජලය අරපිරිමැස්මෙන්
භාවිතා කිරිම මෙම ගවේෂණවෙදී අනිවාර්ය විය. මෙහිදී අපි පැමිණි මාර්ගය ඔස්සේම ගමන් කළ අතර නැවත පරගල හන්දිය වෙත 3.30 වන විට ලඟාවිය. ඉන්පසු අපි දොලොස්බාගේ-නාවලපිටිය බස් රථයකින් නාවලපිටියට ලඟාවී එතැන් සිට පේරදෙණියට දුම්රියෙන් ගමන් කළෙමු. අප නැවත විශ්වවිද්‍යාලයට පැමිණෙන විට හවස 7.30 පමණ විය. නැවත පැමිනීමෙන් පසු ගීත ගායනා කල සියලු දෙනා නැවත විසිර ගියේ අලුත් ගවේෂණයක් නැවත ආරම්භ කිරිමේ නැවුම් බලාපොරොත්තුවක් හා අලුතෙන් හඳුනාගත් මිතුරු කැලක්ද සමගිනි.
Album - https://www.facebook.com/share/p/1BBT8sELKv/?mibextid=wwXIfr
Written by - Tharushi jayasekara