01.Hanthana Exploration

හන්තාන ගවේෂණය -2024

*  ගවේෂණ අංකය : Event No 01

*  දිනය : 2024/09/15

*  ගමන් මාර්ගය : පේරාදෙණිය ➡️ හන්තාන➡️ පේරාදෙණිය

* පිහිටීම : හන්තාන

    https://goo.gl/maps/qRRgggjE79ob6fbBA

* හැඳින්වීම : 


                ශ්‍රි ලංකාවේ මධ්‍යම කඳුකරයේ මහනුවර නගරයට ආසන්නයේ පිහිටා ඇති හන්තාන කඳුවැටියට මහනුවර නගරයේ ගිණිකොන දෙසින් වන්නට ගලහා නගරය තෙක් දිවෙන කඳු පන්තියක් වේ.ගඟවට,පාත හේවාහැට,උඩ පළාත,දෙල්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් මෙම හන්තාන පරිසර පද්ධතිය මහවැලි ගඟේ ඉතාම වැදගත් ජල පෝෂක ප්‍රදේශයක් වශයෙන් මුහුදු මට්ටමේ සිට 1240 ක් පමණ උසකින් හෙක්ටයාර 1200 ක් පමණ භූමි ප්‍රමාණයක් ආවරණය කරමින් පවතී. මෙහි ඇති ඉහළ ජෛව විද්‍යාත්මක වටිනාකම නිසා මෙම කලාපය ජාතික පරිසර පනත යටතේ 2010 පෙබරවාරි මස 17 දින පාරිසරික ආරක්‍ෂණ ප්‍රදේශයක් ලෙස නම් කර ඇති අතර  කඳුමුදුන් 07කින් සමන්විත වන අතරම මෙම "හන්තානය" යන නම ලැබීම සම්බන්ධව විවිධ ජනප්‍රවාද ගණනාවක් ද පවතී.

* පරිසර පද්ධතිය : කඳුකර ලදු කැලෑ(cloudy forest)





* දැකිය හැකි සතුන් :




හැකරැලි විශේෂයක්




භෞමික කකුලු විශේෂයක් ( කක්කුට්ටන්) 


            සත්ත්ව විවිධත්වය අතින් දියුණු පාරිසලික වන භූමියක් වන හන්තාන අඩවිය තුල ක්ශීරපායින්,පක්ෂීන්, උරගයින්, උභය ජීවින් , සමනළ විශේෂ, ගොළුබෙල්ලන්,ජලාශ්‍රිත මසුන් ,කෘමින්, දේශීය දුර්ලභ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ ගණනාවක්ද හමුවේ.

         කඳු වැටිය ආශ්‍රිතව වල්ඌරන්,රිලවුන් හඳුන් දිවියන්, නරියා, මීමින්නා, මුගටියා, ඉත්තෑවා, හාවා,දඬුලේනා,ලේනා ආදී ක්ෂීරපායින්ද ,පක්ෂීන් අතර මෙරටට ආවේණික ශ්‍රී ලංකා වලිකුකුළා, අඳුරු නිල් මැසි මාරා, සැළලිහිණියා, කඳුකර වී කුරුල්ලා, ගිරා මලිත්තා, හිස දුඹුරු දෙමළෙච්චා ආදී පක්ෂි විශේෂ ගණනාවක් දැකිය හැක. එමෙන්ම ඇහැටුල්ලා , පඳුරු මාපිලා, මුදුකරවලා ආදී සර්ප විශේෂත්, පලා කටුස්සා,ගරා කටුස්සා, කරමල් බෝදිලිමා ආදී කටුසු විශේෂත්, සිකනල විශේෂ, හූනු විශේෂ මෙන්ම උභය ජීවී විශේෂයනුත් මිරිදිය මසුන් මෙන්ම අපෘෂ්ට වංශී සතුන් රැසක් ද, සමනළ විශේෂ ගණනාවකට ද මේ කලාපය නිවහන් සපයයි.

* දැකිය හැකි ශාක :



             කඳු වැටියේ ඉහල සීමාව පතන තෘණ භූමිවලින් ආවරණය වී ඇත. පැඟිරිමානා, ඉලුක්, පිනිබරු, ගිනිතණ වැනි තෘණ වර්ගද ඉරු රාජ,වනරාජ, මහ හැඩයා, කැට තලා, බෝවිටියා, ගල්  ගොරකා, ගඳපාන, ෆයිනස් ,ලයිකන, පාසි ආදියත් උඩ වැඩියා විශේෂත්,පර්ණාංග ශාක විශේෂ ගණනාවක්ද දැකිය හැක.







* දේශගුණය :

         අතරමැදි තෙත් කලාපයට අයත් වන අතර වාර්ෂික වර්ෂාපතනය 2000mm පමණ වන අතර ඊසාන දිග හා නිරිත දිග මෝසම් මගින් වසරේ වැඩි කාලයක් වර්ෂාව ලැබේ. එම නිසා පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 23-25 ත් අතර කඳු මුදුන බොහෝ විට මීදුම් සහිතව පවතිනු දැකිය හැක.

 

* දර්ශන පථය :

         මෙහි සිට අංශක 360 ක දර්ශන පථයක් දැකගත හැක.(peacock hills) මොණර කන්ද,ගම්පොළ, කබරගල, Highest peak of Dolosbage Mountain, කඩුගන්නාව,අලගල්ල, මහවැලි ගඟ,බතලෙගල, ඌරකන්ද, පිදුරුතලාගල කඳු පන්තිය,කුකුලාගල ,නකල්ස් ,හුන්නස්ගිරිය, ශ්‍රී පාදය, අම්බුලුවාව, ඇටිපොල(Etipola)






* ගවේෂණ සටහන :



         2024/25 නව ගවේෂණ වාරයේ ආරම්භය සනිටුහන් කරමින් විශ්ව විද්‍යාලයීය ගවේෂකයන්ගේ සංගමයේ අපි,අපේ පළමු ගවේෂණය ලෙස හන්තාන කඳු මුදුන තරණය කිරීමට සූදානම් වූ අතර සැප්තැම්බර් මස 15 වන ඉරු දින විද්‍යා පීඨ පරිශ්‍රයට ගවේෂණය සමග  සම්බන්ධ වීමට රුචි ගවේෂකයන් රැසක් සම්බන්ධව සිටියේ නව ගවේෂණ වාරයේ ආරම්භය සුබදායී කිරීමටයි. වියළි කාලගුණයක් පැවැති මේ මාසය තුළ අපගේ ගවේෂණය බාධාවකින් තොරව කරගෙන යාමට හැකිවීම මහත් අස්වැසිල්ලක් විය. උදෑසන 9 .00 පමණ වන විට හන්තාන ගවේෂණයට ලක ලෑස්ති වූ  111ක් පමණ වූ ගවේෂකයන් සමඟ අප ගමන ආරම්භ කළේ නව ගවේෂණ වාරයේ අප  සංගමයේ සභාපති සහෝදරයාගේ කෙටි දැනුවත් කිරීම් වලින් පසුව වන අතර ගමන ආරම්භයට පෙර කණ්ඩායම් 04කට බෙදී කණ්ඩායම් ගත වූ අපිට සතුන්, ශාක, භූ විෂමතා, කන්දේ පිහිටීම පිළිබඳව මෙන්ම වර්තමානය වන විට ඇතිවී ඇති වෙනස්කම්, බලපෑම් පිළිබඳව තොරතුරු සෙවීමට හා ඡායාරූප ගැනීමට උපදෙස් ලැබුණි.



          විද්‍යා පීඨයෙන් පිටවූ අපි රජවත්ත, බෝවලවත්ත මාර්ගය ඔස්සේ ගොස් ආරණ්‍ය සේනාසනය හරහා හන්තාන තරණයට සූදානම් වූයේ හිස්ව තිබූ ජල බෝතල් පුරවා ගනිමිනි. ඉන් පසුව මාන පඳුරු අතරින් ඉදිරියට ගමන් කළ අපගේ ගමනාන්තය වන ගල් පොත්තට පැමිණි පසු අංශක 360 ක දර්ශනීය දර්ශනපථයක් දැක ගැනීමට හැකි විය.

         ගල්පොත්ත මත සිට දිවා ආහාරය ගත් අප ඉන් පසුව ගවේෂණයට සහභාගි වූ සියලු දෙනා හඳුනා ගැනීම සිදුකළ අතර, පසුව එදින අප හා ගවේෂණයට සම්බන්ධවූ විශ්ව විද්‍යාල ගවේෂකයින්ගේ සංගමයේ ජේෂ්ඨ සාමාජික සහෝදර සහෝදරියන් ඔවුන්ගේ අත්දැකීම් අප සමග බෙදා ගත්හ.  ජේෂ්ඨ සාමාජිකයින්ගෙන් හන්තාන ගවේෂණය වෙනුවෙන් තිලිණයක් ලෙස ලැබී තිබූ chocolate ද ඒ අතරම ආහාරයට ගත්තෙමු.



          ඉන්පසුව සුළං කපොල්ල, CP2 තේ වත්ත, මාන කැලෑ අතරින් ෆයිනස් කැලේ පසුකර ඉහළ හන්තාන නිකේතනය හරහා පැමිණි අප උඩ පේරාදෙණිය පාර ඔස්සේ නැවතත් විද්‍යා පීඨයට පැමිණියේ අපගේ පළමු ගවේෂණය අවසානය සනිටුහන් කිරීමටයි .



        අපි නැවතත් පැමිණෙන විට රසවත් බීම කෝප්පයක් අප වෙනුවෙන් සකස් කර තැබීමට ගවේෂකයන්ගේ සංගමයේ සහෝදර සහෝදරියන් වෙහෙස වී තිබූ අතර බීම කෝප්පෙන් විඩා නිවාගත් අප සුපුරුදු පරිදි ගීත දෙක ගායනා කර විසිර ගියේ නැවත දිනකදී නව ඉසව්වක ගවේෂණයකදී හමුවන බලා‍පොරොත්තුවෙනි.

Photo Album : https://bit.ly/uec_24_25_event_01

සටහන :

සඳරේණු (Arts 20-විල්තෙර)

තොරතුරු :

ෆර්ඩිනන් (Agri 18-ටිං ටිං)

උෂාන් (Agri 20-Duroc)

 මෙත්තා (Agri 19-ඉලියම්)