පේරාදෙණියේ ධවල සිහිනය

ඔවූහු තාරුණ්‍යයේ පෙරළිකරුවෝය. තාරුණ්‍යය සැබැවින්ම උකහා ගත්තෝය. ඔවුනට කල නොහැකි යමක් ඇත් නම් ඒ අරුත්සුන් යමක් හෝ අනර්ථ වූවක් පමණි. මොවූහු නම් අන් කිසිවෙකු නොව පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ගවේෂකයින්ගේ සංගමයේ සමාජිකයින් ම ය.


"ඇවිදීමයි ජීවිතය(Walking is living )" කරගත් මේ තරුණ නඩයේ සමාජිකයින්ගේ ගවේෂණයට හසු නොවූ මායිමක් නැති තරම්ය. ප්‍රධානව ම ලංකාව පුරා කඳු , දිය ඇලි, තරණය කරමින් ගවේෂණය සිදු කරනුයේ තවත් බාලපරම්පරාවක් හැඩ ගසමිනි. අයෙකු ගහකොල සතා සීපාව ගවේෂණය කරද්දී, අයෙක් ඒවා ඡායාරූපකරණයට නංවති. අයෙක් ඒවායින් ලේඛන කලාව ප්‍රගුණ කරති. කුමන කලාවක් ප්‍රගුණ කිරීමටත් නවමු අදහස් හා ඒවා අත් හදාබැලීමේ අභියෝගය භාර ගත යුතු වෙයි. සොබාදහම මේ සියලු ආකාරයේ ගවේෂණයන්ගේ තෝතැන්න වෙයි. ඔවුන ට ඔවුන්ගේ සංගමය මේකී නොකී සියලු ගවේෂණ සඳහා තෝතැන්නයි.


නමුත් මේ කියන්නට යන්නේ ඔවුන්ගේ සංගමයේ සමස්ථය නොව ඔවුන් අත්හදා බලනා තවත් එක්තරා සුවිශේෂී අභියෝගයක් ගැනයි. පෙර කිවූ පරිදි ඔවූහු රටවටා වූ කඳු,දියඇලි, වනපෙත් සොයා ඇදෙන්නෝය. ගවේෂණය කරන්නෝය. එහෙත් ඔවුනට ඉන් නැවතීමට සීමාවක් කොහේ කවුරුන් පනවන්ට ද? සදා හරිත වන පියසි නොව,ධවල කඳු පියසක පහස විඳින්නට කවුරුන් නම් සීමා පනවන්නෙ ද? ඇත්තටම,ඒ ධවල සිහිනය; හිමාල තරණය කිරීමේ සිහිනය හඹා යන ඔවුන්ගේ කතාවයි මේ...


සැබෑ කරගත් ධවල සිහින අටක්

දශක හතරකට එහා ගිය අතීතයක් හිමි මෙම සංගමයේ ඉතිහාසය තුල හිමාල තරණය කිරීමේ සිහිනයන් අටක් සැබෑ වී ඇත. ඔවුන්ගේ පළමු ධවල සිහිනය ඇරඹෙන්නේ 1972 වසරේදීය. ඒ හැර 2000 2001 2002 2004 2008 2013 සහ 2015 යන වසර වලදී ඔවුන්ගේ ධවල සිහිනයන් සැබෑ කර ගත්තෝය. ඒ එවරස්ට් මූලික කඳවුර දක්වාය.

එහෙත් ඒ, හිමාල තරණයේ මාවතට වඩා බෙහෙවින් සීතල මාවතක ගමන්කොටය. මූල්‍යමය ප්‍රතිපාදන සොයා යෑමේ මාවතයි ඒ. විටෙක දසදෙනෙක් පමණ ධවල සිහිනය මැව්වද විටෙක ලද මුදල් ප්‍රමාණවත් වන්නේ සීමිත පිරිසකට පමණි. එවිට තම සහෝදරත්වය උදෙසා කෙරෙන උත්තරීතර කැපකිරීම් සැබැවින්ම ඔවුන්ගේ සංගමයට ම ආවේණික වූවක් වෙයි. කෙසේ වුවද ඕනෑ හැටියට වියදම කර මෙම සිහිනය සපල කර ගත්තෝ නොවෙති. මේ නිසාම විටෙක ඔවූහු තම දිවා ආහාරය පමණක් ගනිමින්ද, තවත් විටෙක චොකලට් වැනි සැහැල්ලු සුලු ආහාරයන්ගෙන් වේල පිරිමසා ගන්නා ඔවූහු සීතල හිම මත තරණය කරන්නේ තාරුණ්‍යයේ ශාරීරික ජවයට වඩා මානසික බලය ලොවට විදහා දක්වමිනි. ඔවූහු තම සංගමයේ ධජය කඳු මුදුනෙහි ලෙලදෙවන්නේ සහෝදරත්වයේ සිහිනයන් සඵල කරමිනි.


නව වන ධවල සිහිනය

ඔවූහු යලිත් හිමාල තරණ සිහිනය,ඒ ධවල සිහිනය දකිති. ඔවූහු සිහින දැකීමට බිය නොවෙති. නමුත් ඔවූහු සිහින දකිමින් නිදි නොවදිති. ඔවුන්ගේ සිහිනය නවමු වී ඇත. සිහිනය දකින්නේ නවමු පිරිසකි. සිහිනය සොයා දුවන්නේ නවමු සිත් යායකි. සිහිනය නිසා නිදි අහිමිව ඇති සෙයකි. ඒ මේ සිහිනය නිදි කුමරි අහිමි කල හීනයක්ම ය. ඒ,සිහිනය සිහිනයක් නොකොට යතාර්ථයක් කිරීමට ය.


මෙවර හිමාල තරණය සුවිශේෂී වන කරුණු කිහිපයකි. එනම් පෙර පැවසූ පරිදිම ඔවූහු තම සීමාවන් අතික්‍රමණය කරන්නෝය. මෙවර ඔවුන්ගේ හිමාල සිහිනය තවත් පියවරක් ඉදිරියට තබන්නෙකි. ඒ ඔවුන්ගේ මෙතෙක් ගමනාන්තය වූ මූලික කඳවුරෙන් එහා ගිය තවත් සොඳුරු කඳු වැටියක් දක්වා ගවේෂණය දිගු කිරීමේ අභියෝගය මෙවර කණ්ඩායම භාරගත් හෙයිනි. මෙවර ඔවුන්ගේ ධවල සිහිනය අමා ඩබ්ලාම් නැමැති සොඳුරු කඳු වැටිය දක්වා දිවෙයි.


අමා ඩබ්ලාම්

"මවගේ මාලය" නම් තේරුමෙන් යුතු අමා ඩබ්ලාම් නමැති හිමාල කඳු වැටිය උසින් අඩි23349 හෙවත් මීටර 6812 ක් වෙයි. ලොව සුන්දරතම කඳු මුදුන් වලින් එකක් ලෙසට සැලකෙන මෙය, ඒ නිසාවෙන්ම එවරස්ට් කඳු පන්තියේ දියණිය ලෙසින් ද හැඳින්වේ.1961 මාර්තු මස13 වන දින නවසීලන්ත ජාතික මයික් ගිල්, වැලී රෝමන්ස්, ඇමෙරිකානු ජාතික බැරී බිශොප් සහ එන්ගලන්ත ජාතික මයික් වෝඩ් පලමුවරට මෙම කඳු මුදුනට ලගා වූවෝ වෙති.නමුත් මෙතෙක් කිසිඳු ශ්‍රී ලාංකික කණ්ඩායමක් මෙම කඳු මුදුන සාර්ථකව ගවේෂණය කර නොමැත.ඔවුන්ගේ මෙම උත්සහය එහි ශ්‍රී ලාංකීය ධජය ලෙලදෙවන්නට වෙයි.


මෙවර කණ්ඩායම

මෙවර ඔවුන්ගේ කණ්ඩායම ගවේෂකයින් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වෙයි. ඔවූහු නම් ගයාන් සංජය, සකුන් උපේක්ශන, නිමේශ් දිලාන් වික්‍රමසිංහ, ප්‍රනාම මාතංගවීර, ලක්ෂිත ශ්‍රීමාල් යන අයයි. එහි නායකත්වය දරමින් ක්‍රියා කරන්නේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ තම අධ්‍යයන කටයුතු හදාරන ගයාන් සංජය නම් සොහොයුරාය. 2013 හිමාල ගවේෂණයේ ද සාමාජිකයෙක් වූ හෙතෙම සිව් වසරක් පුරා මෙම සංගමයේ ගවේෂකයෙක් ලෙස විවිධ අකාරයේ ගවේෂණයන් සිදුකරමින් තම නායකත්ව ලක්ෂණ විදහා පෑ ජ්‍යේෂ්ඨ සාමාජිකයෙකි.

කණ්ඩායමේ තවත් ජ්‍යේෂ්ඨ සාමාජිකයෙකු වන සකුන් උපේක්ශන සොයුරා, ඉතා විශාල පරාසයක් තුල තම දස්කම් විදහා දක්වන්නෙකි. විටෙක මලල ක්‍රීඩා ඉසව්වන්හි දස්කම් දක්වන ඔහු, විටෙක ඡායාරූපකරණයෙන් දස්කම් දක්වයි. නිසඟ ගවේෂකයෙකු වන මොහු සිව් වසරක් පුරා මෙම සංගමයේ ගවේෂකයෙකු ලෙස විවිධ අකාරයේ ගවේෂණයන් තුලින් මනා නායකත්ව ගුණ විදහා දැක්වූ ජ්‍යේෂ්ඨ ගවේෂකයෙකි.

ඉංජිනේරු පීඨයේ තම උපාධිය අවසන් කල නිමේශ් දිලාන් වික්‍රමසිංහ සොයුරා මෙම කණ්ඩායමේ ජ්‍යේෂ්ඨතම ගවේෂක වෙයි. ගවේෂකයෙකු, රග්බි ක්‍රීඩකයෙකු ලෙසට මෙන්ම අප සංගමයේ වසර 6ක් පුරා මෙම සංගමයේ ගවේෂකයෙකු ලෙස විවිධ අකාරයේ ගවේෂණයන්ට නායකත්වය ලබා දෙමින් හා නිරතුරුව නවමු සාමාජිකයින් තම අත්දැකීම් වලින් දිරිමත් කරමින් තම නායකත්ව ගුණ ප්‍රකට කල මොහු නිරතුරු අභියෝග සොයමින් ඒවා ජය ගැනීමට උත්සහ දරන අපූරු චරිතයක් වෙයි.

මෙවර අප කණ්ඩායමේ වාසනාවන්තම ලාබාලතම සමාජිකයා වන ප්‍රසංග මාතංගවීර සොහොයුරා ඉංජිනේරු පීඨයේ ප්‍රථම වසරේ තම අධ්‍යයන කටයුතු හදාරන අයෙකි. හෙතෙම බොක්සිං ක්‍රීඩකයෙක් ද වන අතර මෙම වසර තුල අප කණ්ඩායම මගින් සංවිධානය කල ගවේෂණ වාර වැඩි ප්‍රමාණයකට සහභාගී වෙමින්, ඔහු සතු ගවේෂණ ගුණාංග මනාව විදහා දැක්වීය.

ජනාධිපති බාලදක්ෂ සම්මාන ලබමින් හා මෙම සංගමයේ සියලු ඉසව්වලදී තම නිසඟ නායකත්ව ගුණයන් ප්‍රකට කරන ලද ලක්ෂිත ශ්‍රීමාල් සොයුරා, විද්‍යා පීඨයෙන් තම උපාධිය හදාරනු ලැබූවෙකි. සිතියම් කියවීමේ සහජ හැකියාවක් ඇති ඔහු, ප්‍රායෝගික සහ විශ්ලේෂණාත්මක චින්තනයකින් යුක්ත වෙයි.

කුමන ආකාරයේ බාධක අභිමුව වුව තම නොසැලෙන ගුණයෙන් යුතුව, මනා නායකත්වයකින් ක්‍රියා කිරීමට මෙම ජ්‍යේෂ්ඨ ගවේෂකයින් සතු හැකියාව විශිෂ්ඨය. මේ නිසාම මොවූහු මෙම ගවේෂණ වාරය සඳහා, අප ධවල සිහිනයේ දූතයන් වනු ඇත.


පුහුණුව

එකම අරමුණක් උදෙසා ඔවූහු කැපවෙති. දිවා රෑ නොබලා වෙහෙසෙති. මෙම සිහිනය මුදුන්පත් කිරීමට ඔවූහු මැයි මාසයේ සිට විටෙක දුවති, විටෙක පිහිනති, තවත් විටෙක කඳු නගිති. විශේෂයෙන් පිදුරුතලාගල හා නුවරඑලිය ප්‍රදේශයන්හි පැවැත්වෙන පුහුණුවීම් කටයුතු වලට සහභගී වෙති. නොදන්නා නොහඳුනන කඳු වලට මං පෙත් සොයති. මේ හැර සෑම දිනකම විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාගාරයේ පුහුණුවීම් කරති.


ධවල අරමුණ

ඔවූහු හුදෙක් ත්‍රාසය විනෝදය හා අභියෝගය පමණක්ම අරමුණු කොටගෙන ගවේෂණයන් කරන්නෝ නොවෙති. මිනිසා සොබාදහමෙන් ඈත් වී හුදෙකලා ජීවියෙක් වීමත් සමඟ ඔහුගෙන් සමස්ථ පරිසරයත්, පරිසරයෙන් පෙරළා ඔහුත් විඳවනා ජීවිතයක් උරුම කර ගත්තේ තමන් සොබාදම් මාතාවගේම දරුවෙක් බැව් අමතක වූ නිසාවෙන් බැව් මේ තරුණ ජීවිත හඳුනාගත් සෙයකි. ඔවූහු මහපොලොවේ පුසුඹ දැනුනු, ඇගේ සුන්දරත්වයෙන් එක් වරක් හෝ වශීකෘත වූවෙක් කිසි කලෙක ඈට නොරිදවනු ඇතැයි විශ්වාස කෙරෙති. ඔවුන්ගේ සෑම ගවේෂණයකම මෙන්ම මෙම ගවේෂණයේත් සෑම පියවරක ම, උත්සහයක ම, හඬ නගන්නේත්, නැගෙන්නේත් සදාහරිත ලොවක් තැනීමටමය. එවන් ලොවක් තැනිය හැකි මිනිසුන් බිහි කිරීමටය. සැබැවින්ම ඔවූහු සොබ දහමේ දරුවන් වීමට තරම් වසනාවන්තයෝය.

වරක් නොව දෙවරක්

සිතමු

වෙහෙසෙමු

ගොඩනගන්නට

සදාහරිත ලොවක්

මෙවර ඔවුන්ගේ ධවල සිහිනයේ ධවල තේමාව වන්නේද ඒ නිසාවෙන්මැයි හැඟේ.


ඔවුන්ගේ සිහිනය ධවල සිහිනයක් වන්නේ එහි අරමුණ ධවල වන නිසාමය. ඒ ධවල සිහිනය හඹා යෑමට අවැසි මූල්‍යමය ප්‍රතිපාදන සොයා යෑමට ඔබට උපකාර කල හැක. ඒ සඳහා ඇමරිකානු ඩොලර් 27530 ක (රුපියල් ලක්ෂ 40 ක) පමණ මුදලක් අවැසි වී ඇත. මේ තාරුණ්‍යයේ ධවල සිහිනයට ඔබේ දිරිය අවැසි මොහොතයි.

ඔවුන්ගේ ගිණුම

නම- K.K.D.G.S.ලංකා/M.A.D.S.K උපේක්ශන

අංකය- 79443685

බැංකුව-ලංකා බැංකුව


ශාඛාව- පේරාදෙණිය විශ්වවිද්‍යාලය (445)