Interview with Dr. H.M.D.R. Herath

හන්තාන කඳු පන්තිය තුරුලේ පහස ලබන, මහවැලි ගං කොමළියගේ නෙක හැඩ රටාවන්ගෙන් විභූෂිත වූ, පේරාදෙණිය සරසවියේ විද්‍යාර්ථයන් තුළ, පරිසරය, තුරුලතා, ඇළ දොළ ගංගා කෙරෙහි ඇත්තේ අපමණ ලෙන්ගතුකමක්. ඒ ආහ්ලාදජනක හැඟීම සිය ඇටමිදුළු දක්වා ම කා වැදුණු විද්‍යාර්ථයන් පිරිසක්, එදා හැත්තෑව දශකයේ මුල්භාගයේ, තවත් විශ්වවිද්‍යාලීය සහෘදයන්ට, ඔවුන් ලද අත්දැකීම් සමීප කරනු වස් ගොඩනැගුනු පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ගවේෂකයන්ගේ සංගමය නැමැති කුඩා දිය දහරාව, දශක ගණනාවක් ඔස්සේ විශ්වවිද්‍යාලීය ප්‍රජාව තමා වටා ඒකරාශී කර ගනිමින්, සුමුදු වැලි තලාවන් මතින් මෙන්ම ගල් බොරළු පිරි බාධක හමුවේ, නොනැවතී නොනැසී විසල් ගංගාවක් දක්වා සිය භාරය පුළුල් කර ගනිමින් වර්තමානය දක්වාම ගලා ඇවිත්.


ගවේෂණය මූලික කරගෙන ඇරඹුණු සංගමය, වර්තමානය වන විට එහි නිම් වළලු පුළුල් කරමින් පාසල් පුහුණු කඳවුරු, දන්සැල්, අනුරාධපුර පිච්චමල් පූජාවන්, ශ්‍රී පාද කැලි කසල බැහැර කිරීමේ වැඩසටහන් ආදී සමාජ සත්කාරක වැඩසටහන් ඔස්සේ සංගමයකට එහා ගිය කාර්යභාරයක් සිදු කරමින් ලංකාව තුළ පමණක් නොව හිමාල ගවේෂණයන් තුළින් ලෝකයේ, පේරාදෙණිය විශ්ව විද්‍යාලීය ගවේෂකයන්ගේ සංගමය යන නාමය ස්වර්ණමය ලෙස ලියා අවසන්.


ඕනෑම සංගමයක ශක්තිය එහි සාමාජිකත්වයි. විවිධ බාධක මධ්‍යයේ සාර්ථකත්වයේ හිනි පෙත්තටම පැමිණි මෙවන් සංගමයක සාමාජිකත්වය ගැන සදහන් නොකිරීම යුක්ති සහගත නොවේ. සංගමයේ ආරම්භක සාමාජිකත්වය ඊටත් වඩා සුවිශේෂී වන්නේ ඔවුන් තැබූ මුල් අඩිතාලම, වර්තමාන මහා පවුරක් දරා සිටීමට යෝධ ශක්තියක් වී තිබීම නිසාවෙනි. අද, ගවේෂකයන්ගේ සංගමයට වසර 50 ක් සපිරෙන මේ මොහොතේ, සංගමයේ එදා සහ අද පිළිබඳව කතා කරන්නට අදහස් බෙදා ගන්නට අපත් සමග එකතු වන්නේ සුවිශේෂී චරිතයක්.

කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් මූලික මූලික අධ්‍යාපන කටයුතු හදාරා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයෙන් සිය උපාධිය ලබා ගත් හෙතෙම, 2016 වසර තෙක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මහාචාර්යවරයකු ලෙසත්, කලක් එහි අංශාධිපති ලෙසත් අමිල සේවයක් ඉටු කළේය.

සංගමයේ ආරම්භක සාමාජිකයෙකු ලෙසත්, කලක් ජේෂ්ඨ භාණ්ඩාගාරික ලෙසත්, සංගමයේ උන්නතිය උදෙසා දිවා රෑ වෙහෙසී වැඩ කටයුතු කළ මෙතුමා නමින් මහාචාර්ය එච්. එම්. ඩී. ආර්. හේරත්. අපි එතුමා සමග සුහද පිළිසදරක යෙදෙමු.


ප්‍රශ්නය :-

අපි ඔබතුමාව දන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වරයෙක් විදියට. තවත් විදියකට කිවුවොත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගවේෂකයන්ගේ සංගමයේ පුරෝගාමි සාමාජිකයෙක්. අද අපි ඔබතුමාව හොයාගෙන එන්න හේතුව මේ දෙවැනි කාරණය. ආරම්භයක් විදියට අපි අතීතයට ගිහිල්ලා කතා කරොත් ?


පිළිතුර :-

1970 දශකයේ මුල් භාගයේ විශේෂයෙන් කෘෂි විද්‍යා පීඨය, ඉංජිනේරු පීඨය සහ වෛද්‍ය පීඨය ඇතුලත් ව අනිකුත් පීඨවල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සතිඅන්තයේ හුඟක් වෙලාවට මේ කඳු නැගීමට යොමු වෙලා හිටියා. ඒකට එක හේතුවක් තමයි විනෝදාස්වාදයක් විදියට. අනිත් පැත්තෙන් ඔවුන් යම්කිසි ආකාරයක අධ්‍යයනයක යෙදීමක් සිද්ධ වුණා. මම මේ අවස්ථාවේ මගේ මතකයේ රැදුනු එක සිදුවීමක් සදහන් කරන්න කැමතියි. 1974 දෙසැම්බර් මාසයේ මැදපෙරදිග ඉදන් වන්දනාකරුවන් සමූහයක් අරන් ආව බෝයිං ගුවන් යානයක් සප්ත කන්‍යා පර්වතයේ ගැටීමක් සිදුවෙනවා. අපි මේ ප්‍රවෘත්තිය ගුවන් විදුලියේ 9.00 ට පුවත් විකාශයෙන් දැනගෙන එවලෙම අපි නේවාසිකව හිටිය අක්බාර්-නෙල් ශාලාවේ හිටපු අපේ ඉංජිනේරු පීඨ සහෝදරයන් පිරිසක් එක්ක කොළඹ ඉඳන් 10.10 ට පේරාදෙණියට එන තැපැල් දුම්රියට ගොඩ වෙන්න පුළුවන් වුනා. මං හිතන්නේ මේ ගමනට 100 ක විතර පිරිසක් සම්බන්ධ වුණා. පොලිසියවත් ඒ වෙනකොට සප්තකන්‍යා අනතුර වෙච්ච තැනට ගිහිල්ලා තිබ්බෙ නෑ. අපි රෑ එලි වෙනකොට සප්ත කන්‍යා තරණය කරලා සමහර විට ඒ අහස් යාත්‍රාවේ කෑලිත් අරගෙන පහු පහුවදා උදේ පොලිසිය තහනම් නියෝග දාන්නත් කලින් ආපහු විශ්ව විද්‍යාලයට ඇවිල්ල හිටියා. මට මතක විදියට මේක නිශ්චිත සාධකයක් වුනා ගවේෂකයන්ගේ සංගමයක් ගොඩනැගීම කෙරෙහි. ඒ වෙනකොට ඔය මහවැලි ව්‍යාපාර පටන් ගන්න ඉස්සෙල්ලා මහවැලි ගගේ රන්ටැඹේ ආසන්න ප්‍රදේශයට සංචාරය කර කඳවුරු කරලා තිබ්බා. ඉතින් මේවායේ දී අපට වඩා ජේෂ්ඨයන් ගමන්වලට සම්බන්ධ වුණා. ඉන් කිහිප දෙනෙක් මතක් කලොත් එහෙම, භූගර්භ විද්‍යා අංශ‍යේ ආචාර්ය නවරත්න, ඒ වගේම දැනට ඇමරිකාවේ විශ්ව විද්‍යාලයේ උගන්වන මහාචාර්ය සුනිල් විමලවංශ, වෛද්‍ය පීඨයේ වෛද්‍ය රන්ජන් ගුණසේකර වගේ අය උපාධිය අවසන් වෙනවත් එක්කම සමහර විට අවසාන වසර මුල් කාලේ ඉදන්ම සහභාගි වුණා. මේ පසුබිම යටතේ අපි සංවිධානාත්මක ගවේශකයන්ගේ සංගමයක් බවට පත්වීමට අඩිතාලම වැටුණා. විශේෂයෙන්ම නිලධාරි මණ්ඩලය පත් කර ගැනීමෙන් පස්සේ ලියාපදිංචි සංගමයක් ලෙස ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. ඒ වගේ ම කිසියම් පිළිගත් නීති රීති මාලාවක් ඔස්සේ අපි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්, එතකොට අපේ ශාස්ත්‍ර පීඨයේ ලාල් කුලරත්න වගේ අයත් සම්බන්ධ වුණා. ඉතිං අපි සෑම සති අන්තයකම අඩුම වශයෙන් මොකක්හරි කන්දක් නැගලා ගංගාවක් තරණය කරන්න පටන් ගත්තා. ගොඩක් වෙලාවට ඒ කාලේ අපේ අතේ සල්ලි තිබ්බෙ නැහැ. ඉතින් ගවේෂණ වල යෙදිලා බොහොම මහන්සි වෙලා එන කොට කාගෙහරි ලොරියක නැගලා ආපහු විශ්වවිද්‍යාලයට එනවා. ඉතින් හැම සතියකම කන්දකට යන පුරුද්ද දිගින් දිගටම වර්ධනය වුණා. ඒ වගේම අපි දැඩි විනය නීති මාලාවක් මැද තමයි කටයුතු කළේ. ඒ වන විට සංගමය ගොඩනඟලා නීතිරීති මාලාවක් හදලා ඒ වගේම සංගමයේ නිලධාරි මණ්ඩලය පත් කරලා වඩා ප්‍රශස්ත ආයතනයක් බවට පත් කරන්න අපිට මේ සංගමයට ලාංඡනයක් අවශ්‍ය කලා. ඇත්තට ම, දැනට තියන ලාංඡනය හදන්න මුල් වුණේ ආචාර්ය නවරත්න මැතිතුමා. එතුමා භූගර්භ විද්‍යා අංශයේ කථිකාචාර්යවරයෙක් විදියට හුඟක් වෙලාවට ලාංඡනයේ තියෙන කඹයක්, මිටියක් ආදී ලෙස සංකේත ඔක්කොම වගේ භූගර්භ විද්‍යාව ට සම්බන්ධයි. ඒ වගේම ගවේෂණයට උදව්වෙන උපකරණ. මේ වගේ සංකේත පාවිච්චි කරලා එතුමා අපිට ඉතාම හොඳ ලාංඡනයක් නිර්මාණය කරල දුන්නා. අද වගේ ඒ කාලේ අපිට වසර මැද පරීක්ෂණ තිබ්බේ නැහැ, වර්ෂයකට සැරයක් තමයි විභාග පැවැත්තුවේ. ඉතින් සතියකට සැරයක් පයින් ගමන් කරලා කන්දක් නැගලා විශ්වවිද්‍යාලයට ආවහම ඊලග සතියෙ නැවත පාඩම් වැඩ පටන් ගන්න පුළුවන් ප්‍රබෝධවත් මානසිකත්වයක් ඇති වුණා. ඉතින් ශිෂ්‍යයන්, සංගමයේ ගවේෂණ වලට සහභාගී වීම බොහොම කැමැත්තෙන් කරපු වැඩක් බවට පත්වුණා. ඒක තමයි මට මතක අවුරුදු 50 කට කලින් සංගමයේ දළ ආරම්භය.


ප්‍රශ්නය :-

මුල්කාලයේ ගවේෂකයන්ගේ සංගමය ආරම්භ කරද්දි මොන වගේ අරමුණක් ද තිබේබේ, මොන වගේ පිරිසක්ද හිටියෙ කියලා මතක් කරොත් එහෙම ?


පිළිතුර :-

එකක් තමයි අපේ මූලික බලාපොරොත්තුව වුණේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ විදිහට අපි දේශන ශාලාවල ඉඳලා විෂයන්වල න්‍යායන් හා පරීක්ෂණ විධි කරන අතර හාත්පසින්ම වෙනස් අත්දැකීමක් ලබා ගන්න එක. ඉන්දියාව, ලතින් ඇමරිකාව, අප්‍රිකාව වගේ රටවල් එක්ක සාපේක්ෂව බලනකොට වර්ග හැතැම්ම 25332 ක් වෙච්ච මේ පුංචි රටේ සීමිත කඳු සංඛ්‍යාවක් තමයි තියෙන්නේ. ඉතිං අපි හිතුවා අඩුම වශයෙන් අපේ රටේ තියෙන මේ කඳු, ගංගා තරණය කරන්න ඕන කියලා. ඊට අමතරව අපි හිතුවා ඒ කාලේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තිබ්බ පීඨ වල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ගැහැණු පිරිමි භේදයකින් තොරව සම්බන්ධ වෙලා පොදු අරමුණක් කරා ගමන් කරන සමූහයක් විදියට සතියකට සැරයක් ඇවිදින්න යනවා කියන එකෙන්, ‘ඇවිදීම ජීවිතය’ කියන තීරණාත්මක නිර්වචනය ජීවිත වලට සම්බන්ධ කරන්න. මේ විදියට විශ්ව විද්‍යාලයේ පීඨ වල ශිෂ්‍යයන් එකතු කරන යාන්ත්‍රනයක් මේ හරහා නිර්මාණය වුණා. උස් පහත්, පීඨ බේදයකින් තොරව ගවේෂණය කියන එක ප්‍රධාන අරමුණ කර ගෙන ගමනේ යෙදීමෙන් සමාජයක් වශයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට එකතු වෙන්න අවස්ථාවක් ලැබුණා. ඒ වගේ ම ගමන සරල අත්දැකීමක්. දවස් දෙකේ ගමන්වලදී ගිනිමැල සංදර්ශනයක් එකක් එහෙම තියලා බොහොම සුහද ලෙස දැනුම බෙදා ගැනීමට යාන්ත්‍රණයක් නිර්මාණය වුණා. ඒක නිසා සතියකට සැරයක් ගවේශණයේ යෙදෙනවා කියන එක අනිවාර්ය දෙයක් විදියට අපිට ඇඟට දැනුනා. ඒක තමයි ඇත්තටම මේකෙ තිබුණු සක්‍රීය අදහස.


ප්‍රශ්නය :-

වර්තමානයේ අපි විවිධ වූ ඉසව් සංවිධානය කරනවා. ඒ වගේ ඒ කාලේ සංගමයේ සාමාජිකයෝ එකතු වෙලා කරපු දේවල් මොනවද ? අපි ඒ ගැනත් මතකය අවදි කළොත් එහෙම ?


පිළිතුර :-

අපි හැම සතියකම බලාපොරොත්තු වුණා කන්දක් නගින්න, ගංගාවක් තරණය කරන්න. ඒ වගේම අපි කඳු නැගීමේදී හුඟක් වෙලාවට පසුකාලීනව යන මාර්ගය ලකුණු කර ගත්තා. ඇත්ත වශයෙන්ම අපේ සංගමය ට බැඳෙන පලවෙනි වසරේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්, කෝඩුකාර‍යන් විදියට මුලින්ම හන්තාන කඳු පංතියේ කටුසු කොන්ද දක්වා යනවා. ඒ දවස් වල අද තියෙනවා වගේ සන්නිවේදන කුළුණු එහෙම තිබ්බෙ නෑ. බොහොම අමාරුවෙන් තමයි හන්තාන තරණය කරන්නේ. ඒක විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අලුත් අත්දැකීමක්. ඇත්තටම කිව්වොත් හන්තාන තරණය කළේ නැත්නම් ඒක වැඩකට නැති විශ්වවිවිද්‍යාල ජීවිතයක්. හන්තාන තරණය කිරීමෙන් පස්සේ මේ අවට තියෙන දෙවනගල අලගල්ල කඳුත් ඒ වගේම හුන්නස්ගිරිය තුන්හිස්ගල ආදී වශයෙන් තියෙන ප්‍රධාන කඳු වළලුත් තරණය කිරීම තුළින් අපි හොඳ අත්දැකීමක් ලැබුවා. ඒවගේම මේ ගවේෂණයන්ට ගැහැනු දරුවෝ සහ පිරිමි දරුවෝ දෙපිරිසම සහභාගී වීම තුළ යම් ප්‍රබෝධාත්මක ගතියක් තිබ්බා. තවත් විශේෂ දෙයක් මං කියන්න ඕන. ඒ කාලේ විශ්වවිද්‍යාලයේ ගැහැණු ළමයින් කවදාවත් කලිසම් ඇඳල තිබ්බෙ නැහැ. නමුත් ගවේෂණ වලට සහභාගී සහභාගී වෙන ගැහැණු ළමයි පලවෙනි වතාවට කලිසම් ඇඳන් ගවේෂණවලට සහභාගී වුනා.

තවත් ඉදිරියට යනකොට මේකට තව නීතිරීති ගොඩක් එකතු වුණා සහ කඳු තරණය කිරීමේ නිශ්චිත අනුපිළිවෙලක් ආදී ලෙස ඇති වීම සිද්ධ වුණා. අවසාන වශයෙන්, මුල් යුගයේ සංගමය විධිමත් භාවයට පත් වෙන්න කලින් අත්දැකීම ගැන කියන කොට සඳහන් කළ යුතුම කරුණක් තියෙනවා. ඒක තමයි, අපි සෑම විටම තිබුණු ඉඩප්‍රස්ථා සහ අපේ දැනුම පදනම් කරගෙන නිශ්චිත කඳු වළලු තරණය කිරීමට තෝරා ගත්තා.


ප්‍රශ්නය :-

ඔබතුමා ගවේෂණය කියන හරි අපූරු අත්දැකීම අත්විඳි කෙනෙක්. ඒ කාලයේ සිදු වූ අමතක නොවන සිදුවීම් විශේෂ අවස්ථා ගැන කතා කළොත්?


පිළිතුර :-

මම හිතන විදිහට බරපතළ ආපදාවන් වගේ දේවල් වලට අපි මුහුණ පෑවේ නැහැ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වශයෙන් අප මෙහෙයවපු බලවේගය තමයි ආත්ම ආරක්ෂාව, ආත්ම විශ්වාසය සහ ආත්ම ගෞරවය යන ප්‍රස්තූත තුන. අපේ ජේෂ්ඨයෝ උපදෙස් දුන්නේ අපි ම තරණය කරන්න ඕන, අපි ම යන්න ඕන, ඒනිසා අප විසින්ම ආත්ම ආරක්ෂාව සලසා ගත යුතුයි කියන කාරණාව. ඒ වගේම තමයි ආත්ම විශ්වාසය. ඒ කියන්නේ ආපහු බහින්නට බැහැ. මට මතකයි එක සැරයක් මීමුරේ ගිය වෙලාවේ අපිට කන්න බොන්න මුකුත් තිබ්බේ නැහැ. අපේ සුනිල් විමලවංශ තමයි අපිත් එක්ක හිටියේ. කොහොමහරි හොඳටම බඩගිනි හින්දා වත්තක තිබ්බ වරකා ගෙඩියක් කඩල කෑවා. ඒකේ සම්පූර්ණයෙන් වගේ තිබ්බේ පණුවො කාපු තැන් හින්දා ඒ වරක මදුළු ඔක්කොම විසි කරලා දැම්මා. ඊට පස්සේ විමලවංශ මගෙ කනෙන් ඇදලා කිව්වා තව පොඩ්ඩකින් ඔයිටත් වැඩිය බරපතළ ලෙස කන්න නැති වෙනවා. මොකද හීන්ගඟදෑලට අපි යන්නෙ වහාම ගිහින් අර වරකා මදුළු ටික අරගෙන වරෙන් පණුවො පිටින්ම කියලා. ඊට පස්සේ ගෙනැල්ලා පොඩි පිහියකින් පණුවො තිබිච්ච කෑලි අයින් කරලා දාලා ආයෙත් මල්ලට දාගෙන අපි යන්න පටන් ගත්තා. ඊට පස්සේ අපිට පැපොල් හේනක් හම්බවුණා. එකෙන් කාලා මීමුරේ ගිහින් ගිං ගඟ තරණය කරලා මිනිපෙට ගියා. තව ඔය වගේ අත්දැකීම් ගොඩක් තියෙනව. තව එකක් තමයි අපේ පළමු වසර, දෙවන වසර ශිෂ්‍යයො ඔක්කොම හන්තාන තරණය කරන්න ගිහින් රැයක් සම්පූර්ණයෙන්ම මීදුම නිසා බහින්න බැරි වුණා. කොහොමහරි මටත් ඒකට සහභාගි වෙන්න බැරි වුණා. රෑ දහය විතර වෙනකන් ආවෙ නෑ. ළමයින්ට මීදුම හින්දා කළුවරයි, සීතලයි, පේන්නෙත් නැහැ, කන්න බොන්නත් නැහැ. අන්තිමට කොහොමහරි වටේ තිබ්බ පොලීසි වලට කියලා පහුවදා උදේ තමයි පොලීසියෙන් ගිහින් අමාරුවෙන් බස්සගෙන ආවේ. ඒ වගේ තත්ත්වයන් වෙලා තිබුණට අපේ කාගෙවත් ජීවිත අනතුරට පත්වුණේ නැහැ. දැඩි සීතල සහ මීදුම හේතුකොටගෙන ඔක්කොමල සුදුමැලි වෙලා හිටියෙ. ඒ නිසා අපි කළේ ඒ කණ්ඩායමට ම කන්න දීපු එක. ඒ වගේ දේවල් හැරෙන්නට ගවේශකයන් වශයෙන් බරපතල සිදුවීම් වලට මුහුණ දෙන්න සිදුවුණේ නැහැ.


ප්‍රශ්නය :-

සාමාන්‍යයෙන් අපි සංගමය හඳුන්වන්නේ පවුලක් විදියට.ඔබතුමා මේ පවුලේ ඒ කාලේ හිටපු අයත් එක්ක තිබුණු බැඳීමෙන් ඔබතුමාගේ ජීවිතයට ලැබුණු දේ ගැන විස්තර කළොත් ?


පිළිතුර :-

ප්‍රධාන වශයෙන්ම මම මුලින් සඳහන් කළ කාරණාව. පුදුම සහගත ලෙස සහෝදරත්වය සහ එකිනෙකා කෙරෙහි විශ්වාසය ඇති වුනා. සාමාන්‍යයෙන් ශිෂ්‍යයෝ විශ්ව විද්‍යාලයට එනව කියන්නේ තමන්ගේ පවුල් පරිසරයෙන් ඈත් වෙනවා. අපි එදිනෙදා ගමන් යනකොට අපිට තියෙන එකම පිළිසරණ තමන් වටේ ඉන්න සහෝදර සහෝදරියන් පිරිස. අදත් හුඟක් රටවල මේ කට්ට්ය විසිරිලා ගිහින් ඉන්නවා. මට මතකයි, අද වගේම එදත් හිමාලය ගවේෂණය කිරීමේ කණ්ඩායම් යනවා. ඒ කාලේ මුදල් සොයාගැනීමේ ප්‍රශ්න තිබුණා. හැබැයි රැකියාවක් තිබුණ කට්ටිය තනියම ගියා. දැනට ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙක් වන සුනිල් විමලවංශ තමයි ඒ කාලයෙ නායකත්වය දුන්නේ. අවසානයේ විමලවංශ තීරණය කළා තනියම හිමාලය තරණය කරන්න. එයා තනියම ගියා. නමුත් නියමිත කාලය අවසානයේ සුනිල් විමලවංශ නැවත පැමිණියේ නැහැ. මාස තුනකට විතර පසුව විශ්ව විද්‍යාලයේ සිසුන් සහ ඔහුගේ ඥාතීන් ඔහුගේ වියෝව වෙනුවෙන් පින්කම් කරමින් සිටින අවස්ථාවක සුනිල් විමලවංශ නැවත ලංකාවට පැමිණියා. සිදුවී තිබුණේ එයා යම් මට්ටමකට හිමාලය තරණය කරද්දී හිම කන්දක් කඩා වැටිලා හෝ කුමක් හරි හේතුවක් මත වෙනත් ගම්මානයකට ඇවිල්ලා. ඒ නිසා ආපු පාර වෙනස්වෙලා. කොහොමහරි සෑහෙන කාලයක් ඒ ගමේ මිනිස්සු එක්ක ජීවත් වෙලා තමයි නැවත මාර්ගයක් සකස් කරගෙන ලංකාවට පැමිණිලා තිබුණේ. එසේ වුවත් ධෛර්යමත්භාවය අඩුවී තිබුනේ නැහැ. විමලවංශ මහතා වුවත් "මම පන බේරගෙන ආවා. අපි නැවත ගමන් යා යුතුයි" කියන කාරණය තමයි කිව්වේ. එයින් සංගමයේ සහෝදරත්වය වගේම දැඩි වීරත්වය, මගපෙන්වීම, නායකත්වය වර්ධනය කරගැනීමට හැකි වුණා. ඒ නිසා ඕනෑම දුෂ්කර තැනකට නැගීමට අවශ්‍ය සැලසුම් සෑම සහෝදර සහෝදරියක් ම ලබා දුන්නා. ඒ තුළින් ගවේෂකයන්ගේ හැකියාවන් වර්ධනය වුනා. සමහර වෙලාවට ගවේශක සංගමයේ ප්‍රතිඵලයක් විදිහට මේවට සම්බන්ධ වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර සුහද සම්බන්ධතාවයන්‍ ගොඩනැගුණා. එම සම්බන්ධතාවන් ආදර සම්බන්ධතාවයක් බවට පත්වෙලා පසුකාලීනව විවාහ වූ අයත් සිටිනවා. දැනට අපගේ කඳවුරුවලට පැමිණෙනවා තරුණ තරුණියන් වශයෙන් සංගමයට බැඳිලා උපාධියෙන් පසු විවාහ වෙලා දරුවනුත් සමඟ. කලින් මම සදහන් කරපු හැම දෙයක් ම වගේ සංගමයක් විදියට ඉදිරියට යන්න අපිට ඉවහල් වුනා. ඒ පන්නරය ජීවිතයේ පසුකාලීනව අපට වැදගත් වෙනවා.


ප්‍රශ්නය :-

එදා එකට හිටපු සමකාලීනයන් අද විවිධ තැන් වල ඇති. ඔවුන් සමග ඇති සම්බන්ධතාවය ගැන කතා කළොත් ?


පිළිතුර :-

ඇත්ත වශයෙන්ම අපිත් එක්ක සම්බන්ධ වෙලා හිටපු ගොඩක් අය මේ වන විට විදේශ ගත වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය වගේ රටවල. ඉතා ම කලාතුරකින් තමයි අපිට එයාලව මුණගැහෙන්නේ. නමුත් තාමත් ඒ අය දන්නවා මේ ගවේශක සංගමය විසින් සාම්ප්‍රදායික කාර්යභාරය සිදු කරන බව. ඒ නිසා සමහර අය ලංකාවට පැමිණි විට ඒවාට සහභාගි වෙනවා. අධිනීතිඥ ලාල් කුලරත්න මහතා කොළඹ ඉන්නෙ. තව සුනිල් විමලවංශ මහතා ඇමරිකා එක්සත් ජනපදයෙ තමයි කටයුතු කරගෙන යන්නෙ. ඊට අමතරව, ලංකාවේ විශ්ව විද්‍යාල වල සේවය කරන අපිට වඩා කනිෂ්ට සාමාජිකයින් ගවේෂණ සංගම් පිහිටුවලා තියෙනවා. මං හිතන්නේ මට සමකාලීනව හිටපු බොහෝ දෙනෙක් දැන් ලංකාවෙ නෑ. ඒ අය පිටරට විශ්ව විද්‍යාල වල සේවය කරනවා. සමකාලීනයන් සහ අප විසින් පුහුණු කරන ලද සංගමයෙ ශිෂ්‍යයෝ ඔවුන් සේවය කරන ලංකාවේ විශ්ව විද්‍යාල වල පේරාදෙණිය විශ්ව විද්‍යාලීය සම්ප්‍රදාය ඉදිරියට ගෙන යමින් ගවේශක සංගම් පිහිටුවා ගෙන ඒවා පුළුල් ලෙස වර්ධනය කරමින් පවතිනවා. සමහර අපිත් එක්ක ගවේෂණ සංගමයේ හිටපු අය අප අතරින් වෙන් වෙලා ගිහින් තියෙනවා. එයත් කිව යුතු කාරණාවක්. දැනට අපේ කණ්ඩායමේ හතළිස් දෙනෙක් පමණ මිය ගිහින් තියෙනවා. ඒ අතර ගවේශක සංගමයේ අයත් සිටිනවා. ඒක මම මේ අවස්ථාවේ මතක් කරන්න ඕන.


ප්‍රශ්නය :-

ගවේෂකයන්ගේ සංගමයේ වර්තමාන එදාට සාපේක්ෂව ඔබතුමා දකින්න කෙසේද ?


පිළිතුර :-

මම දකින විදියට වර්තමාන ගවේෂකයන්ගේ සංගමය එදාට සාපේක්ෂව ප්‍රශස්ත ලෙස වර්ධනය වෙච්ච අවස්ථාවක්. සංගමයට අද වන විට අවුරුදු 50 කිට්ටු ඉතිහාසයක් තියෙනවා. වෙනත් ඕනෑම සංගමයක වගේ ආරම්භක අවස්ථාවේ ඒකට අවිධිමත් ස්වරූපයක් තිබ්බේ. නමුත් වර්තමානයේ, සංගමයට ව්‍යවස්ථාවක්, වැඩකටයුතු කරන අපිටම ආවේණික ස්වරූපයක් වගේම අනන්‍යතාවයක් එක්ක විධිමත් භාවයකට පත් වෙලා තියෙනවා. අද වුණත් පේරාදෙණිය විශ්ව විශ්වවිද්‍යාලීය සංදර්භය තුළ ගවේෂකයන්ගේ සංගමය, විශ්වවිද්‍යාලීය අනන්‍යතාවය ලෝක ජාව තුළ තීව්‍ර කරනවා. හැබැයි වර්තමානයේ සංගමය ට තියෙන පහසුකම් අතින් සෑහීමකට පත් වෙන්න බැහැ. තවමත් අපේ සංගම් කාමරේ තියෙන්නේ විද්‍යාපීඨය තුළ. වෙන රටවල විශ්වවිද්‍යාලවල යහපාලනය, ශික්ෂණය, කීර්තිනාමය ඇති කරගන්න මගින් මෙවැනි සංගම් වලට ප්‍රතිලාභ සපයලා ප්‍රවර්ධනය සඳහා වැඩ කටයුතු කරනවා. නමුත් පේරාදෙණිය පැරණිතම විශ්වවිද්‍යාලයක් විදියට අපේ ඒ දේ සිද්ධ වෙලා නැහැ. මේ වගේ තත්වයක් යටතේ වුණත් ගවේෂකයන්ගේ සංගම‍ය ඉතාම ඕනෑකමින් වර්තමාන සාමාජිකත්වය යටතේ ඉදිරියට යනවා. සංගමයේ බොහෝ දෙනෙක් තමන්ගේ පෞද්ගලික කාර්යභාරයක් කියලා හිතාගෙන මෙහි වැඩකටයුතු කරනවා. ඉතින් මෙන්න මේ වගේ පසුබිමක් යටතේ සංගමයට පුළුවන් වෙලා තියෙනවා විශ්වවිද්‍යාලයේ වෙනත් සංගමයකට නොහැකි වූ ලෙස පීඨ සියල්ල ඒකාබද්ධ කරන්න. මම සංගමයේ ජේෂ්ඨ භාණ්ඩාගාරික විදියට වසර ගණනාවක් කටයුතු කළා. සමහර ළමයි මේ සංගමය වෙනුවෙන් වැඩ කරද්දි ඔවුන්ට ඇතිවෙන ප්‍රශ්න ගැන රෑ 1-2 ටත් මට කතා කරලා කියනවා. එක් වතාවක මට මතකයි, සංගමය මගින් ළමයි පිරිසක් පිදුරුතලාගල ගියපු වෙලාවෙ, යුද හමුදාව, පොලීසිය මට කතා කලා. ඔවුන් මට කිව්වා, ගවේශකයන්ගේ සංගමයේ ළමයි කට්ටියක් ඇවිල්ලා ඉන්නවා, ජේෂ්ඨ භාණ්ඩාගාරික විදියට ඔබතුමාගේ නම සදහන් වෙලා තියනවා, මේකේ වගකීම භාර ගන්න පුලුවන් ද කියලා. තවදුරටත්, මෙහෙම සංගමයක් විශ්වවිද්‍යාලයේ තියනවා ද යනාදී වශයෙන් ඔවුන් විස්තර ඇහුවා. ඇත්තටම මම ගොඩක් සතුටු වෙනවා, ගවේශකයන්ගේ සංගමයේ සාමාජිකයෝ ගම්මාන වලට ගිහිල්ලා කදු, ගංගා තරනය කරලා තමන්ගෙ අතේ සතයක්වත් නැතුව පාරෙ යන වාහන වල නැගලා ආපහු විශ්වවිද්‍යාලයට එනවා, කවදාවත් යුද හමුදාව, පොලීසිය සමග හෝ වෙනත් පාර්ශවයන් එක්ක ගැටුම් ඇතිකරගන්න යන්නෙ නෑ. ඒ කාලයේ පටන්ම සංගමයේ මූලික තේමාවන් වෙච්ච ආත්මාරක්ෂාව, ආත්ම විශ්වාසය හා ආත්ම ගෞරවය කියන කරුණු එදාටත් වඩා අද සාමාජිකයත්වය තුළ ක්‍රියාත්මක වෙනවා කියලා කියන්න ඕන.


ප්‍රශ්නය :-

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගවේෂකයන්ගේ සංගමය ගැන අනාගතය ගැන මොන වගේ අදහසක් ද ඔබතුමාට කියන්න තියෙන්නෙ ?


පිළිතුර :-

ඊට කලින් මම මුලින්ම කියන්න ඕන ගවේෂකයන් විදියට පුහුණු කරන ක්‍රියාවලිය ගැන. වාර්ෂිකව අපි පාසල් කිහිපයක් විශ්වවිද්‍යාලයට ගෙන්වලා තරග පවත්වලා අනාගත ගවේෂකයන්ට හා විශ්වවිද්‍යාලයට පැමිණීමට සිටින ළමයින්ට අපි විශාල ආදර්ශයක් සපයනවා. මේ වගේ ඉතා විශාල භූමි ප්‍රමාණයක, කඳු කඳුහෙල් පිහිටි භූමියක, ඉතා ලස්සන පරිසරයක පිහිටි විශ්වවිද්‍යාලය දැක්කහම උසස් පෙළ කරන ළමයෙකුට විශ්වවිද්‍යාලය ගැන ආසාවක් ඇතිවෙනවා. ඉතින් පහුගිය කාලේ මගේ අත්දැකීම තමයි, මේ පාසල් ළමයි විශ්වවිද්‍යාලයට ඇවිල්ලා මමත් විශ්වවිද්‍යාලයට ඇතුලත් වෙන්න ඕන කියල මූලික චින්තනයක් ඇති කරගෙන ගිහිල්ලා මහන්සි වෙලා උත්සාහයෙන් පාඩම් කරලා විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න උත්සාහ කරනවා. දෙවෙනි එක තමයි, ලංකාවේ දස දිග් භාගයේ තිබෙන විද්‍යාලවල සේවය කරන විදුහල්පතිවරු හා සමාජ සම්බන්ධීකාරක ගුරුවරු හිතාගෙන ඉන්නේ ගවේෂකයන්ගේ සංගමය මෙහෙය වන්නේ විශ්වවිද්‍යාලයේ විධිමත්ව සකස් වෙච්ච අධ්‍යන කාර්ය මණ්ඩලයක් මගින් කියලා. නැත්නම් උපකුලපති තුමා ඇතුළු මෙහෙයුම් කමිටුවක් මගින් කියලා. ඇත්තටම ගත්තොත් එහෙම ව්‍යුහයක් නෙවෙයි සංගමය තුල තියෙන්නෙ. ඒ කොහොම වුනත් ඇත්තටම උපකුලපතිතුමා නිරන්තරයෙන්ම අපේ වැඩවලට සහයෝගය ලබා දෙනවා. මේ විදියට වර්ෂයකට දෙවරක් ලංකාවේ පාසල් සම්බන්ධ කරගෙන කඳවුරු සංවිධානය කිරීම තුළින් ගවේෂණයට අවශ්‍ය පුහුණුව ලබාදීම හරහා ලංකාව තුළ ගවේෂකයන්ගේ සංගමය ඉතා ප්‍රකට කාර්යයක් සිදු කරනු ලබනවා. අපට ඇති ආර්ථික ප්‍රශ්න නිසා මෙවැනි විවිධ ඉසව් සංවිධානය කිරීම යම් ප්‍රමාද වීමක් වුනොත්, මීට පෙර අවස්ථාවල මේ කදවුරු වලට සහභාගී වෙච්ච පාසල්, ගවේෂකයන්ගේ සංගමයෙන් මෙවරත් එවැනි වැඩසටහන් සංවිධානය වෙනවද කියල නිරන්තරයෙන් සොයා බලනවා. මේ නිසා ගවේශකයන්ගේ සංගමය, ලංකාවේ පාසල් වල ගුරුවරුන්ගේ හා දෙමාපියන්ගේ හිත් වල කුතුහලයක් ඇති කරමින් ළමයින් තුළ නවීන තරගකාරී ලෝකයට අවශ්‍ය සොය සොයා යාම පිළිබඳ චින්තන ධාරාවක් අපේ සංගමය විසින් නිකුත් කරනවා කියල කියන්න පුලුවන්.

අවසාන වශයෙන් මම කියන්න ඕන, ඉදිරියේදී ලංකාවේ විශ්වවිද්‍යාල පහලොවක විතර ඉන්න ශිෂ්‍යයෝ ඒකාබද්ධ වෙලා නව්‍යමය දැනීම සොයා යන පරිසරයත් එක්ක තියන ගමනක ගවේශකයන් විදියට යම් ආකරයක අත්දැකීම් සමුදායක් නිර්මාණය කරාවි කියල මට ලොකු විශ්වාසයක් තියනවා.


…………………………………………………............………...…………......…………………….

ප්‍රශ්නාවලිය සම්පාදනය කිරීම :- සදුනි වනසිංහ - ශාස්ත්‍ර පීඨය (16 රත්මල්)

සම්මුඛ සාකච්ඡාව මෙහෙයවීම :- ඉරේෂා අධිකාරි - ශාස්ත්‍ර පීඨය (14 පොල්කට්ටි)

මාධ්‍ය රූප පටිගත කිරීම සහ සංස්කරණය :- සදකැලුම් බණ්ඩාර - ඉංජිනේරු පීඨය (14 පුංචි පුතා)


ලිපිය සැකසීම -

චමත් අමරසිංහ - ඉංජිනේරු පීඨය (16 බතා)

රවින්ද්‍යා ජයසූරිය - ඉංජිනේරු පීඨය (17 වැල්මී)