peraCHAMPS School Orientation - 2020

ඉර පායන පැත්තට හැරෙන සූරියකාන්ත මල් වගේ අපිත් හොයාගන්නව කොහොම හරි හිත්වලට ලෙංගතු දේවල් ජීවිතේ විඳින්න, හුස්ම ගන්න අපිට ඕන විදිහට.


ඉතිං එහෙම, කන්දක් නගින්න, පරිසරය විඳින්න, එහෙ මෙහෙ දුවන අතරෙ පේන මේ ඇස් ඉස්සරහම තියන අපිට මග හැරෙන ලෝකය සැහැල්ලුවෙන් නිදහසේ විඳින්න වගෙම මේ පය ගහල ඉන්න බිමට දෙයක් කරන්න පුළුවන් තැනක අපි හුස්ම ගන්නව.


ඊයෙ ගෙවුනට වඩා ලස්සනට අද දැනෙද්දි හෙට ගැන ඇතිවෙනව අලුත් බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තු තමයි කර්කශ සිස්ටම් එකක් අස්සෙ හිරවෙච්ච අපිව ජීවත් කරවන්නෙ.


විඳින ගොඩක් අත්දැකීම් අස්සෙ පුංචි එවුන් ටිකක් එක්ක ගත කරපු අපූරු දවසක් තමයි peraCHAMPS School Orientation - 2020 program එක.


ඉස්කෝලෙ ඇඳුම් ඇඳගත්තු පුංචි එවුන් ටිකක් නිකමට දැක්කත් ඇත්තටම හිතට එනව පුදුම සතුටක් දැනෙන හැඟීමක්. ඒ මොකද දන්නවද?? ජීවිතේ කාර්යබහුල වෙද්දි අපි ආදරේ කරනව අපෙන් ගිලිහිලා ගිය නිදහසට, අපි ජීවත් වෙනව තාමත් ඒ මතක අස්සෙ. ඉතින් අපි හොයනව ඒ මතකයන් හදවතින් වගේම ඇස්වලින්. ඒකයි තාමත් ඉස්කෝලෙක සෙල්ලම් කර කර ඉන්න පොඩ්ඩො ටිකක් දැක්කම ආයෙත් හැරිල බලන්න හිතෙන්නෙ. ඇත්තටම ඒක හැමෝටම එහෙමද කියන්න දන්නෙ නෑ. ඒත් හය වසරෙ ඉඳන් ඉස්කෝලෙක හොස්ටල් එකක් ඇතුලෙම හැදිල සුදු ඇඳුම උරුමයම වෙච්ච එකෙකුට ඒ කාලෙ කොහොම උනත් දැන් නම් ඒ පහුවුන කාලය කියන්නෙ ලස්සන මතක ගොන්නක්.


ඉතින් මේ අපේ කතාවෙ පොඩ්ඩො ටිකත් උදෙන්ම ඇවිත් තිබුන කැම්පස් එකේ ground එකට. විශ්වවිද්‍යාලයීය ගවේෂකයින්ගේ සංගමය විසින් නුවර අවට අර්ධ නාගරීකරණය වුනු පාසල් කිහිපයක ළමයින් වෙනුවෙන් තමයි මේ වැඩසටහන සංවිධානය කලේ. ඇත්තටම ඒක ඒ පොඩ්ඩො ටිකට අලුත් අත්දැකීමක්, ජීවිතයට ලොකු පාඩමක්, මතකයක් වගේම සංගමය විසින් දරපු ලොකු මහන්සියක සාර්ථක ප්‍රතිඵලයක්.

ඉතින් අපි මේ ගැන අහල බැලුව බොහෝ දෙනෙක්ගෙන්, මේ ගෙවිල යන දවස් වල කෙරෙන මතක ආවර්ජනයක් විදියට.....

මේ event එක කරද්දි club එකේ president විදියට වැඩ කරන්නෙ ඉස්කෝලයා. අභියෝග ගොඩක් මැද්ද උනත් සාර්ථක විදියට අවසානයක් දකින hike season එකක අවසානයේ කරපු මේ orientation program එකේ සංවිධානය ගැන, අරමුණු ගැන ඔහු අපිට ගොඩක් දේ කිව්ව.


"ඇත්තටම මේ වැඩසටහන සංවිධානය කලේ අරමුණු ගොඩක් ඇතුව වගෙම ඒ සියල්ලම අඩුවක් නැතුව සම්පූර්ණ කරගන්න club එකක් විදියට අපිට පුළුවන් වුනා. අරමුණු ගැන කතා කලොත්, අපි මේ කැම්පස් එකේ, ක්ලබ් එකේ අවුරුදු ගණනක් ඉඳල අත්දැකීම් ගොඩක් අරන්, එළියට යනව. ඇත්තටම ඒ විතරක් මදි. ඉතින් අපි club එකක් විදියට සහෝදරත්වයෙන් බැඳුනු පවුලක් විදියට හිතුව දෙයක් කරන්න මේ රටට, සමාජයට. ඇත්තටම වසර 50 ක ඉතිහාසයක ඉඳන් අපේ club එක මේ සමාජයට ලොකු වැඩ කොටසක් කරනව. ඉතින් අපි මේ සීසන් එකේ pera champs school orientation program එකක් කරන්න තීරණය කලා. පොඩි කාලයක් ඇතුලත ලොකු වැඩක් සංවිධානය වුනේ ඔය විදියට.


Album 1 >> Pera Champs School Orientation Programme-Opening Ceremony


නගරෙ ඉන්න ප්‍රධාන පාසලක ළමයින්ට ඇත්තටම ලොකු අවස්ථාවක් තියනව adventure sports කරන්න, competition කරන්න. එයාලට තියන opportunities වැඩියි. ඒ වගේම ගමක පාසලක ළමයි ගත්තත් competition එකක් විදියට නොවුණත් එයාලට චාන්ස් එකක් තියනව ඒ ජීවිතේ විඳින්න. ඒත් අර්ධ නාගරීකරණය වුන පාසල්වල ළමයින්ට ඔය දෙයාකාරයෙන්ම අවස්ථා මඟ හැරෙනව. ඉතින් අපි තෝරගත්ත ඒ වගේ පාසල් ටිකක්, adventure කියන අත්දැකීම එයාලට දෙන්න, ඒකට හුරු කරවන්න, ඒ යටතේ පරිසරයට ආදරය කරන, ජීවිතේ අභියෝග, විවිධ පීඩනයන්ට මුහුණ දෙන්න පුළුවන්, ප්‍රශ්නවලට මුහුණ දෙන්න පුළුවන්, කණඩායම් හැඟීමෙන් වැඩ කරන, හොඳ නායකත්ව ලක්ෂණ තියන සහ වෙලාවට වැඩ කරන්න පුළුවන් පොඩ්ඩො ටිකක් ඒ චරිත ඇතුලෙන්ම එළියට ගන්න.

මේ සඳහා ළමයින් 50කට ආසන්න පිරිසක් පාසල් තුනකින් සහභාගි වුනා.

පෑලව නවෝද්‍යා මහා විද්‍යාලය

මහානාම විද්‍යාලය

සරසවි උයන විද්‍යාලය

තමයි ඒ පාසල් තුන.

program එක one day event එකක් වුනත් දවස් ගණනක් තිස්සේ කට්ටිය planning වලට, organizing වලට, activities select කරන්න, watch hut එක ගහන්න, decoration වලට මහන්සි වුනා.


ඉතින් club එකේ හැමෝටම එකතු වෙලා එක අරමුණක් වෙනුවෙන් එකට වැඩ කරන්න, සංවිධානාත්මක ශක්තිය වැඩි කරගන්න මේක හොඳ අවස්ථාවක් වුනා."


එක දවසක් වගේ පෙනුනට දවස් ගණනක වැඩක්, බොහෝ දෙනෙකුගෙ මහන්සිය වගේම බලාපොරොත්තු මල්ඵල ගැන්වීමක් තමයි මේ. ඉතින් මේ හැමදෙයක්ම සාර්ථක කරගන්න හොඳ සංවිධානය සහ ඒ මහන්සිය පිටිවහලක් වුනා කිව්වොත් ඒක තමයි ඇත්ත. ඉතින් අපිට රශ්මිතා අක්කා කිව්ව decorations කරපු විදිය ගැන.


2020.02.22 තිබුන මේ වැඩේට 15 ඉඳන් කට්ටිය deco කරන්න පටන් ගත්ත. හැමදාම හවස 6.30 ඉඳන් රෑ 12, 1, 2 වෙනකන් කට්ටිය වැඩ. මම (රශ්මිතා), රත්මල්, පාරුව, ඩාබා, මල්සරා තමයි කෝඩිනේට් කරන්න හිටියෙ. ජූනියර්ස්ල බොහෝ දෙනෙක් මේ වැඩේ සාර්ථක කරගන්න අපිත් එක්ක එකතු වුනා. ඒ අතරෙ සැලා, කිඳුරන්ගනා කිරි කෝපි, සමපෝෂ වලින් කට්ටියට සංග්‍රහ කළා. Watch hut එක ළඟ, Alwis pond එක ළඟ වගේම closing ceremony එකේ decorations සියල්ල තමයි අපිට භාරවෙලා තිබුනෙ. කැම්පස් එක ඇතුලෙ රිජිෆෝම්, පොලිතින් පාවිච්චි නොකර ලණු, උණ බට, ගෝනි වගේ දිරා යන ද්‍රව්‍ය විතරක් පාවිච්චි කරල හැමෝම එකතු වෙලා ඇත්තටම ඒ දවස හරිම ලස්සන කලා.”


මේ අතරෙ කොල්ලො ටික watch hut එක ගහන්න මහන්සි වුනා. Club එකේ කොල්ලොන්ගෙ මහන්සිය, එකමුතුකම තමයි හරි පිළිවෙලට ඉඳිවෙච්ච watch hut දෙකක උණ පතුරක් ගානෙම, ලණු පොටක් ගානෙම තිබුනෙ. ඉතින් අපිට හබල මල්ලි ඒ ගැන විස්තර කිව්ව. “Watch hut එක කියන්නෙ Program එක ඇතුලෙ සංවිධානය වුන ප්‍රධානම දේවල් වලින් එකක්. සති දෙකක් පුරාවට දරපු ලොකු මහන්සියක ප්‍රතිඵලයක් තමයි අපි හදපු වොච් හට් දෙක. බොහෝ දෙනෙක් රෑ දවල් වෙනසක් නැතුව මහන්සි වුනා මේ වැඩේ සාර්ථක කරගන්න. උණ පතුරු වලින් වේදිකා අත්වැට සහ පාදමත්, වහලයට තල් අතුත් අතුරල කරපු watch hut දෙකේ වැඩ අවසානයේ සාර්ථකව අවසන් කරන්න අපිට හැකි වුනා."

මේ හැමදේම සිද්ධ වුනේ ලොකු එකමුතුකමකින්, ලොකු බැදීමකින්. ඒ දේවල් මේ විදියට අකුරු ටිකකට සීමා කරන්න බැරි වුනත් ඒ මතක ලොකු ශක්තියක් මේ හැමදෙනාගෙම ජීවිත වලට.

Route marking කියන්නෙ මේ program එක පටන් ගන්න කලින් එහි සාර්ථකත්වය වෙනුවෙන් තිබුන වැදගත්ම අංගයක්. Event එකෙන් event එක සම්බන්ධ කරන්න, පොඩ්ඩොන්ට කැම්පස් එකේ සුන්දරත්වය පෙන්නන්න වගේම කාල කළමනාකරණය කරගන්න ඒක ගොඩක් වැදගත් වුනා. ඉතින් අපිට ඒ ගැන ගම්පොලය විස්තර කිව්වෙ මේ විදියට.

"School orientation එකට සති 2ක් විතර තියෙද්දි ඩෙකෝ වැඩ watch hut එකේ වැඩ පටන් අරන් තිබ්බෙ. කොහොමහරි තව ලොකු වැඩක් තිබ්බ route marking. කලින් අවස්ථා වල නම් අපි රූට් 3ක් දානව Cp 2 වෙනකන් එකකට එකක් cross වෙන්නැති වෙන්න. හැබැයි මේ සැරේ වෙනස්… committee සෙට් එකෙ ප්ලෑන් එක වුනේ පොඩ්ඩොන්ට අමාරු හයික් එකක් දෙන්නැතුව කැම්පස් එකෙ ලස්සන පේන්නයි හන්තාන පේන්නයි ලස්සන පොඩි රූට් එකක් හදන්න. කොහොමහරි වැඩේට ගැලපෙන තැන් හොයන්න යන්න මාත් එක්ක සෙට් උනේ වේයා. ටිකක් හවස්වෙලා පටන් ගත්තෙ ස්කෝලය කිව්ව විදියට දේවාලේ පැත්තෙන් රූට් එක දාන්න හිතාගෙන.කොහොමහරි කෑම්ප් සයිට් එක ගාවට එන්න කතා 2ක් විතර කියන්න ඇති..එතන ඉදන් රවුමක් දාලා කතාවකින්ම අපි දේවාලෙ ගාව ගල් තලාවට ආවේ කුකින් ඉවෙන්ට් එකටයි ස්පයිඩර් නෙට් එකටයි ප්ලේස් ටිකක් හිතේ තියාගෙන. ගල් තලාව උඩ පොඩි ඇලට් එකක් දාලා හවස් උන නිසා අපි මාකස් එක පිටිපස්සෙ කැලෙන් ආවා club room එක පැත්තට. ඔය විදියට තමා Route marking පලවෙනි දවස ගියෙ. දෙවනි දවසෙදි මානවයා, මැක්කි, ධාතු, වේයා, බතා මල්ලි එහෙමත් සෙට් උනා. එදා තමා ෆුල් රූට් එකම මාර්ක් කරෙ.රූට් එකෙ අන්තිම ටිකට එද්දි අපිට watch hut එක හදන සෙට් එකත් සෙට් උනා උන් එක්ක දවසම ඉදලා ග්‍රවුන්ඩ් එකට එද්දි කණු දෙකක් හිටවලා කොල්ලො ටික. තුන් වෙනි දවසෙ බඩීලව එක්කරන් රූට් එකෙ ගිහින් කෙලින්ම ආවෙ වොච් හට් එක ගාවට. එතකොට නම් ඔක්කොම වැඩ ඉවරයි. එතකොට තමා ඇඟට දැනුනෙ event එක දවසට අපි ඔක්කොම රෙඩී කියලා."


උදේ ඉඳන් හවස් වෙනකල් 8-5 ලෙක්චර්ස් ඉවර කරල තවත් තමන්ගෙ ෆැකල්ටි වල වැඩත් කොහොම හරි කරන් හැමෝම මේකට සහභාගි වුනේ ගොඩක් උනන්දුවෙන්. ඉතින් ඒකම තමයි මේ හැමදෙයකම සාර්ථකත්වට ලොකු ශක්තියක් වුනේ.

හැමෝගෙම අරමුණ වෙලා තිබුනෙ සංවිධානය කරගත්තු විදියටම හරියටම වෙලාවට සහ ආරක්ෂාකාරීව මේ වැඩේ කරන්න සහ සාර්ථක කරගන්න.


Album 2 >> Pera Champs School Orientation Programme


ඉතින් event එක දවසෙ උදේ පාන්දරම නැගිටල කිසිම ගැටළුවක් ඇති නොවෙන විදියට වෙලාවට වැඩසටහන ආරම්භ කරන්න ඕන නිසාම කොල්ලො කෙල්ලො සමහරු science එකේම රැය පහන් කලා. ඕනෙම වැඩක් කොල්ලො කෙල්ලො වෙනසක් නැතුව රැයක් දවාලක් වෙනසක් නැතුව හරි කැපවීමකින්, වගකීමකින් වගෙම හරි ආදරෙන් තමන්ගෙම වැඩක් විදියට සලකලා කරගෙන යන්න පුළුවන් උන් ටිකකගෙන් තමයි මෙතන හැදිල තියෙන්නෙ. ඉතින් උන් ආදරෙයි මේ විශ්ව විද්‍යාලයට, මේ බිමට වගෙම මේ රටට.


peraChamps school orientation එකේ opening ceremony එක, පොල්තෙල් පහන, මේ වගේ දේවල් භාරව වැඩ කටයුතු කලේ කැතී. ඉතින් එයත් අපිත් එක්ක එයාගෙ ලස්සන මතක බෙදාහදා ගත්තා. එයත් එක්කම මේ වැඩ ටික වෙලාවට ඉවර කරගන්න ගොඩක් දෙනෙක් එකතු වුනා එයාගෙ සහයට. හයික් එකක් ගිහින් වගේම මේ වගේ දේවල් වලිනුත් අපේ ජීවිත වලට අළුත් අත්දැකීම් එකතු වෙනව. ඒ අත්දැකීම් ලස්සන වෙන්නෙ අපේ වටේ ඉන්න අපිට ශක්තියක් දෙන අපේම උන් නිසා. මුළු කැම්පස් එකේම ෆැකල්ටි 9ක එක එක විදියෙ දක්ෂතා තියන දෑත් ගොඩක එකතුවක්. ඉතින් මේ event එක සංවිධානය කරන්න club එකේ committee එක ගොඩක් මහන්සි වුනා. ඉස්කෝලයා, ලෑටියා, ටොපියා,සැලා, කුමී මේ හැමෝම හොඳ නායකත්වයක් දුන්න ඒ දේවල් ඒ විදියටම සාර්ථක වෙන්න.

පොල්තෙල් පහන පත්තු කරල, සිසු විරු ගීතය කියල හරි ලස්සනට ආරම්භ කරපු වැඩසටහන දවස පුරාම පැවැත්වුනා. events රාශියක්, වගකීම් ගොන්නක්. මේ හැමදේම හරි වෙලාවට මුළු විශ්ව විද්‍යාල භූමිය පුරාම පවත්වන එක ලේසි නෑ. ඉතින් ඒ දේවල් හරියටම කරන්නත්, දැනුම් දීම් කරන්නත්, ගැටළු අවම කරගන්නත් තමයි calling center එක තිබුනෙ, වැඩසටහන ආරම්භ කරන මොහොතේ පටන් සාර්ථකව අවසන් වෙනකල්ම. කිලාරි, ආරෝග්‍යා, පේරි, ලසඳා, සීනිබෝලි, හිනා, සහ පැස්බරී තමයි ඒ වැඩ ටික කලේ. ඉතින් හරි තැනට හරි වෙලාවට පොඩ්ඩොන්ගෙ ටීම් ගියේ ඒ විදියට.

ඉවෙන්ට් ගැන කතා කරන්න ගත්තොත් නම් නිමක් නෑ. ලස්සනම ලස්සන මතක, දඟම දඟ පොඩ්ඩො, හැමදාම වගේ ලඟින් ඉන්න බැඳීම්, තමන්ගෙම උන් ටිකක් එක්ක ගෙවිච්ච ලස්සන දවසක්.

මම හිටියෙ Rock climbing event එකට. එදා වැහැපු දවසක් නිසා ටිකක් අමාරු වුණත් ගොඩක්ම ලස්සනට තිබුන වැඩක්. ගම්පොලය, පාරුව, කැතී, බයිනෙත්තු, ලපා, කැලී, තමයි අනිත් අය.

මේක තිබුනෙ orientation program එකක් විදියට වුනත් පොඩ්ඩොන්ට උනන්දුවක් ඇති කරන්න ඕන නිසාම එයාලගෙ team working වගේ පුංචි පුංචි කාරණා කිහිපයකට ළකුණු දෙන්න තීරණය කරල තිබුන.

ඉවෙන්ට් එක තිබුනෙ වැවට උඩින් පාරෙ යද්දි අහුවෙන ලස්සනම ලස්සන තැනක. ඒත් ඉස්කෝලෙ ළමයින්ට නගින්න පුළුවන් විදියට කඹේ දාගන්න එක නම් ටිකක් අමාරු වුනා කලින් දවසෙ රෑ වැස්සට ගල් තෙමිල තිබුන නිසා. ඇබයයි, ඇවගාඩ්‍රෝ මල්ලියි, බයිනෙත්තු මල්ලියි තමයි උදෙන්ම හොඳ තැනක් බලල කඹ ටික දැම්මෙ.

මෙහෙම වැඩක් කරද්දි ආරක්ෂාව තමයි පළවෙනිම දේ වෙන්නෙ. නගින්නෙ එක කඹයක් අල්ලගෙන වුනත් තවත් safety rope එකක් වෙනමම සූදානම් කරල තිබුන ගල දිගේ නගින කෙනාගෙ ආරක්ෂාවට. ඉවෙන්ට් එක පටන් ගන්න කලින්ම ගම්පොලය, බයිනෙත්තු, කැලී මේ හැමෝම වගේ නැගල බැලුව කඹය දිගේ. ඒක ටිකක් අමාරු ගලක්. ඒත් කිසිම අවුලක් නැතිව පරිස්සමට නගින්න පුළුවන් වුන නිසා තමයි පොඩ්ඩන්ව යැව්වෙ. ඒ වගේම ඇබයා අපිවත් දැනුවත් කරල ගියා මොනවද කරන්න ඕන, ආරක්ෂාව කොහොමද තියෙන්න ඕන වගේ දේවල් ගැන. Support rope එක, safety rope එක, harness eka, helment එක ආදී මේ හැම දෙයක් ගැනම ගොඩක් දේවල් කියාදුන්න ආපු හැම ටීම් එකකටම. කැලී තමයි event එක පටන් ගන්න කලින් හැම team එකටම මේ දේවල් කියා දෙන්න භාරව හිටියෙ. බයිනෙත්තු මල්ලි ඒ හැම ටීම් එකටම harness එක ඇදල, helment එක දාල පෙන්නුව. ලපා මල්ලි, පාරුව, ගම්පොලය තමයි belay කරන්න rock එක උඩ හිටියෙ.

ඇත්තටම ටීම් එකෙන් ටීම් එක ගොඩක් සාර්ථක විදියට ඉවෙන්ට් එක ඉවර කලා. ඉතිං ඉගන ගන්න ඇති ගොඩක් දේවල් අදට වගේම ජීවිතේ ඉස්සරහට මුණගැහෙන ජීවිත ගමනේ ලොකු කඳු නගින්න, අභියෝගවලට මුහුණ දෙන්න. සමහරුන්ට අදහසක් තිබ්බෙ නෑ මොකද කරන්න ඕන කියල. rock එක දැක්ක ගමන් සමහරු බයත් උනා. ඒත් දෙන උපදෙස්, දිරිගැන්වීම් එක්ක හැමෝම නැග්ගා උඩටම. එහෙම තමයි ජීවිතේ අභියෝග අපේ ඉස්සරහට එන්නෙ අපිට කියල නෙවෙයිනෙ.

rope එක දිගේ නගින්න පටන් ගන්න කලින්ම සමහර පුංචි නංගිලගෙ කකුල් වෙව්ලනව, හොඳටම බය වෙලා. ඒත් කවුරුත්ම නැවතුනේ නෑ. කොහොම හරි උඩට ගියා. එදා උන් ඉගන ගන්න ඇති දරාගන්න අමාරුම තැන තමයි දරාගන්න ඕනම තැන කියල. බෑ කියල පටන් ගත්ත පොඩ්ඩොත් කාගෙත්ම සප් එකත් එක්ක කොහොම හරි උඩටම ගියා.

ඒක ඇත්තටම හොඳ පාඩමක් වෙන්න ඇති එකෙක්ටවත් වැටෙන්න නොදී කොහොම හරි තමන් වටේම ඉන්න ඔක්කොමත් ඇදගෙන ඉස්සරහට යන්න, හොඳ ගමනක් යන්න, හොඳ නායකයෙක් වෙන්න වගෙම වෙලාවට වැඩ කරන්න. උන්ට දැනෙන්න ඇති වටේම ඉන්න අයගෙ එක දිරි ගැන්වීමක තියන ශක්තිය කොච්චරක්ද කියල. සමහර වෙලාවට ටීම් වල ළමයින්ට වැඩිය අපේ හත්දෙනා කෑ ගහනව, සප් එක දෙනව. ඉතින් උන් ජීවිතයට දෙයක් ඉගන ගත්ත වගේම අපේ ජීවිතවලටත් ලොකු මතක ගොන්නක් එකතු වුනා.

ලැබුන කෑම ටික කාල, තිබ්බ වතුර ටික, කිරි පැකට් ශෙයාර් කරගෙන බීල, තව වතුර මදි වෙල ගෙන්නගෙනත් බීල කොහොම හරි දවල් කෑමට කලින් කාටවත් කරදරයක් නැතිව ඉවෙන්ට් එක ඉවර කලා. ඊට පස්සෙ වැව රවුමෙ තියාගෙන දවල්ට කාල අපේ වැඩ ඉවර කලා ගම්පොලයගෙ ලපා මල්ලිගෙ කතා ගොන්නකුත් එක්ක. එක එක ඉස්කෝලවල නංගිල මල්ලිල ගොඩකුත් එක්ක ලස්සනටම ගෙවපු දවසක් ඒ විදියට නිමා වුනා. ඉතින් ඒව තමයි මතක. ආයෙ ඒවගේ දවසක් එනකල්ම අපිව ජීවත් කරවන්න. ගෙවාගන්න අමාරු සමහර කරදරකාර දවස්වලටත් ටිකක් හරි හිනා වෙන්න...


Rock climbing එහෙම වෙද්දි තවත් ඉවෙන්ට් 7ක් තැන තැන. treasure hunting තවත් ලස්සන ඉවෙන්ට් එකක්. පොඩ්ඩො නම් මේකට ආස වෙන්න ඇති ගොඩක්ම. අපිට ඒ ගැන ලපී නංගි ගොඩක් දේවල් කිව්වා.

"ඇත්තටම මේක ගවේෂණය තුලින් සතුට කරා ළමයින්ව අරන් ගියපු event එකක්. මුලින්ම කණ්ඩායම් එන්න කලින් event එකට අවශ්‍ය සියල්ල අපි සූදානම් කලා. ඉඟි කිහිපයක් සූදානම් කරල ඒවා එකින් එක බෝතල්වලට දාල එක් එක් බෝතලය ඇතුලට ඉංග්‍රීසි අක්ෂරය බැගින්ද දැම්මා. ඉතින් ඒ අකුරු ගලපලා treasure කියන වචනය හදලා අපි සඟවපු දේ සොයන එක තමයි එක් එක් කණ්ඩායමට දීපු අභියෝගය වුනේ.මේ event එකේ ප්‍රධාන අරමුණු වුනේ ගවේෂණය හා සචින්තන හැකියාව තුළින් ජයග්‍රහණයක් අත්කර ගැනීමට සිසුන් දිරිමත් කිරීමයි. පැමිණි සිසු කණ්ඩායම් අතරින් මනා නායකත්වයකින් තම කණ්ඩායමේ අනෙක් සගයින් මෙහෙයවමින් සාමූහිකව කටයුතු කල කණ්ඩායම් තුනක් අවසානයේ එම treasure item සොයා ගත්තා. ඉතින් අපිත් ගවේෂණයේ නව මං පෙත් සොයා යන ඒ අනාගත ගවේෂකයන් වෙත සුබ පැතුම් එක් කරමින්, නවමු අත්දැකීම් ගොන්නක් හා සතුට සමගින් මෙම ඉසව්ව සාර්ථකව නිම කලා."

ටාටා ඒ මතකය අවදි කලේ මේ විදියට.

"එදා ටිකක් වැහිබර දවසක් නිසා වැස්සෙනුත් හානියක් නොවෙන විදියට hint place කරන්න වුනා. Team වලට introduction දීල event එක පටන් ගත්තා. එන්නෙ පොඩ්ඩො නිසාත් එයාලට කැම්පස් එක හුරු නැති නිසාත් අපිට හැම පොඩ්ඩෙක් දිහාම හොඳට ඇහැ ගහගෙන ඉන්න වුනා. මොකද ලංකා පොකුණ එහෙම තිබ්බ නිසා එයාලගෙ ආරක්ෂාව ගැන ගොඩක් හිතන්න වුනා. අපේ treasure එක වුනේ chocolate එකක්. ඉතින් first team එක වගේම second team එකත් last point එකට ගියත් treasure එක නොගෙන time over වෙලා ආවා. එතනටම ගිහිල්ලත් දැක්කෙ නැත්තෙ ඇයි කියල බලද්දි ඒක රිලව් අරගෙන. ඊට පස්සෙ අපිට ඊට වඩා සැළකිලිමත් වෙන්න වුනා රිලවුන්ගෙන් chocolate එක බේරගන්න. මම, ඩියෝ, ලපී නංගි සහ තව කීප දෙනෙක් තමයි event එක ලඟ හිටියෙ. Hilda park එක ලඟ තමයි ඉවෙන්ට් එක arrange කලෙ. මුලින්ම map එකක් දුන්න first point එකට යන්න. එතන ඉදන් පොඩි කුප්පි බෝතල් වලයි සිප්පි කටුවලයි බෙල්ලන්ගෙයි හින්ට් ලියල පාර්ක් එකේ තැනින් තැන පිළිවෙලට හැංගුවා. මුළු පාර්ක් එකම cover වෙන විදියට හින්ට් 13ක් විතර හැංගුවා. අන්තිමට treasure එක පාර්ක් එකේ පාලම ලඟම තිබ්බ ගහක් ලඟ තමයි තිබ්බෙ. එයාලට time limit එකක් දුන්න. ඉතින් කොහොම හරි දවස අවසානයේ අපි ලස්සනට ඉවෙන්ට් එක නිමා කලා."

Spider net එක කියන්නෙත් ගොඩක් ලොකු සංවිධානාත්මක හැකියාවක් එක්ක ජයගන්න ඕන ඉවෙන්ට් එකක්. ඉතින් ඒ ගැන උකුස්සි තමයි අපිත් එක්ක විස්තර බෙදා හදා ගත්තෙ. මේ තියෙන්නෙ එයාගෙ මතක සහ අත්දැකීම්.

“ ස්පයිඩර් නෙට් කියන වචනෙන්ම තේරෙනව ඒක මොනවගේද කියලා. මේ event එකේදී කරන්න තියෙන්නේ ස්පයිඩර් නෙට් එකේ ලණුවලින් වට වුන කොටසක් ඇතුලෙන් එක් පැත්තක සිට අනිත් පැත්තට ගමන් කරන එක. මෙහිදී එක කොටසකින් ඇතුලු වෙන්න පුළුවන් එක team member කෙනෙක්ට විතරයි. ඒ වගේම තමා මේ ලණු වල නොගෑවී යන්නත් ඕනේ. මේ event එකේදි කණ්ඩායමක් විදියට එකට වැඩ කරන එක ගොඩක්ම වැදගත් වෙනවා. ඇත්තටම මේක ගොඩක් විනෝදජනක event එකක්. මෙහිදී අපි නිවැරදි තීරණ අරගෙන වැඩ කරගෙන ගියොත් මේ event එක ලේසියෙන් කරගන්න පුළුවන්. අපි මුලින් සැලසුමක් හදා ගන්න ඕනේ කවුද මුලින්ම යවන්නේ, ඒ කෙනා මොන කොටසින්ද යවන්නේ කියලා. සමහර කණ්ඩායම් වල කණ්ඩායමේ ලොකුම අයව අන්තිමට යවන්න තියාගන්නවා. ඒත් එයාට ඉතුරු වෙලා තියෙන්නේ ස්පයිඩර් නෙට් එකේ උඩම කොටසකින් යන්න, එතකොට ඒක කරගන්න බැරි වෙනවා. ඒ වගේම අපි ආරක්ෂාව ගැනත් සලකා බලන්න ඕනේ. කණ්ඩායම් එකක දෙකක විතර එයාලගේ නොසැළකිලිමත් බව නිසා කණ්ඩායම් සාමජිකයින් බිමට වැටුනා. හරි තීරණ හරි වෙලාවෙ ගන්න එක කොච්චර වටිනවද කියල ඒ පොඩිත්තොන්ට එවෙලේ හොඳාකාරවම තේරුම් යන්න ඇති. නිවැරැදි විදියට සැලසුමක් හදාගෙන,නිවැරැදි තීරණ ගැනීම මඟින් මේ event එක පහසුවෙන් ජය ගන්න පුළුවන්”

Cycle event එක ගැන අපිට කිව්වෙ, අපිත් එක්ක අත්දැකීම් බදාහදා ගත්තෙ ඇමරැන්තස්. ඉතින් මේ එයාගෙ මතක.

"හිතේ සැහැල්ලුවෙන් ගෝනි නුලකින් හිස් ජෑම් බෝතලයකට හැඩයක් ගෙන දේමට උත්සාහ දරන අවස්ථාවක, නොසිතූ ලෙසින් ලැබුනු අභියෝගයක් තමයි 'ඔයාට බයිසිකල් පදින්න පුළුවන් නේද? ඔයාගේ නම bicycle event එකට දාන්නම්' වචන කිහිපයත් එක්ක bicycle event එකේ වැඩ කරන්න වීම. හිතේ මෙතෙක් වෙලා තිබුනු නිදහස බිදී ගිහින් වගකීමක්‌ හිතට අරන් එම කටයුත්ත සංවිධානය කිරීමට සිදු වුනත් ඇත්තටම අලුත් අත්දැකීම් ගොඩක් එකතු වුනා ජීවිතයට. ඊළඟ දවසේ zeena නංගී, වේයාමල්ලී සහ තවත් කිහිප දෙනෙකුත් එක්ව ඇඳපු bicycle event එකට අදාළ සිතියම් කිහිපයක් ලැබුනා. බොහෝ දෙනා විවිධ වැඩවල යෙදී සිටි බැවින් ඉස්කෝලයාත් ලෑටියාත් ඉතිරි වැඩ කටයුතු සංවිධානය කරන්න යැයි පැවසුවා. ඒ අතර වාරයේ පැමිණි කුමී නංගී වේගයෙන් තරඟය ගැන විස්තර කලා. තරමක් අපැහැදිලි තැන් කිහිපයක් තිබුනත් ඒවා තේරුම්ගත් බව ඇඟෙව්වේ ඇය තවත් බොහෝ කාර්යයන්හි කාර්යබහුලව සිටි බව තේරුම් ගිය නිසා.

zeena නංගී සමග සකස් කල සංකේත පුවරු event එක පැවැත්වෙන route එකේ තැන් තැන් වල එල්ලන්න ටික්කා මල්ලීත් ටුල්ලා මල්ලීත් එකතු වුනා. Event එකට කලින් දවසෙ රෑ 10 ට විතර එල්ලන්න පටන් ගත්ත පුවරු එල්ලල ඉවර කරද්දි රෑ 12.30ත් පහු වුනා. අන්තිමේදි හොස්ටල් එකට යන්න විදියක් නැති නිසා zeena නංගිලගෙ බෝඩිමේ තමයි රෑ නවතින්න වුනේ.

උදේ Science common එකට එද්දි ඒ වෙනකොටත් ගෙනත් තිබුණු bicycle 14 මමත් zeena නංගීත්, Tikka ත් , tulla ත්, සමග sewendharee, Jerbera, Nani, kirilli, Mekki, Adipose, Pedi, portelo, ඇතුළු කිහිපදෙනෙකුගෙ උදව් ඇතිව කිරිහල ලඟට අරගෙන ගියා. තරඟකරුවන් පසුපසින් bicycle, මෙන්ම මෝටර්සයිකල් පැදගෙන ගොස් ඔවුන් පිළිබඳව වාර්තා කලේ සැවැන්දරී, zeena, ටික්කා මල්ලි, ටුල්ලා මල්ලි එකතු වෙලා. තරඟය විනිශ්චය කිරීමේ කටයුතු සිදු කලේ bunja. තරඟය එතරම් අසීරු නොවුණත් ලකුණු රැස්‌ කරන්න පහසු නොවුනේ එහි සංකේත සොයා ගන්න මහන්සි වෙන්න වුනු නිසාත් මාර්ගය සො‍යාගන්න සිතියමක් පාවිච්චි කරන්න වුනු නිසාත් කියලයි අපිට හිතුනෙ.

පිරිමි ළමුන්ගේ කණ්ඩායම් හොඳ තරඟයක් ලබාදීම වගෙම අවසානයේ ඔවුන්ගේ මුහුණු වල තිබුනු සිනහවෙන් අප දැරූ වෙහෙසෙහි සාර්ථකත්වය ඇස් පනාපිටම පෙනෙන්න තිබුනා. ගැහැනු ළමයින් හට එතරම් හොදින් bicycle event එකෙන් සාර්ථක වෙන්න නොහැකි වුවත් ඔවුන් බොහොම උනන්දුවෙන් තරඟය සමඟ එක් වුනා. Team එකක එක නංගි කෙනෙක් bicycle එක වාරු නැතුව ගිහින් වැටිල බය වෙලා හිටපු නිසා ඔමරි එක්ක ප්‍රථමාධාර දෙන්න medical center යවන්න අපි කටයුතු කලා. ප්‍රතිකාර ලබාගත් පසු ඇයට නැවත තරඟවලට සහභාගී වෙන්න අවශ්‍ය වූ බැවින් ඇගේ අධිෂ්ඨානය ගැන ඇත්තෙන්ම අපි සතුටු වුනා. ඔය විදියට තමයි අපි හිටිය bicycle event එක සතුටත් මතකයන් ගොඩකුත් ඉතුරු කරන ගමන් සාර්ථකව නිමාවට පත් වුනේ."


Cooking event එක තමයි route එකේ ඉහළින්ම තිබුන ඉවෙන්ට් එක. ඒ ගැන රෝලෝ අපිත් එක්ක මේ විදියට අත්දැකීම් බෙදාහදා ගත්තා.

“ අපි ඉඳපු event එකේ 15 සෙලියුලෝස් අක්කයි,15 සූර්ති අක්කයි තමා seniors ලා විදිහට හිටියෙ. 15 ටොම්බි අක්කා, 17 ටුටූ, 16 පෝටෙලෝ, 16 රෝලෝ තමයි juniors ලා.

අපි උදේ 7.30 ට විතර උදේ කෑමයි, වතුරයි, cooking event එකට ඕනි බඩුයි අරගෙන කන්ද නගින්න පටන් ගත්තා.. අපි උදේ යනකොට කෙල්ලො 5ක් විතරයි හිටියෙ. Route එක අවසන් වෙන තැනින් පටන් අරන් ඊතල සලකුණු දිගේ ආපස්සට තමයි යන්න වුණේ. කොහොම හරි ආමාරුවෙන් පාරත් හොයාගෙන් event එක තියන තැනට ආවා.. ඊට පස්සෙ උදේ කෑම කාලා වට පිටාව ටිකක් සුද්ද කරගත්තා..

එතකොට ටුටූ ඇවිත් හිටියෙ නෑ.. රොටී පුච්චන තැටියයි, ගිනි පෙට්ටියකුයි අපිට ගෙනියන්න අමතක වෙලා.. ටුටූට කියල එයා එනකොට තමා ඒ ටික ගෙන්නගත්තෙ.

ඊට පස්සෙ 10ට විතර milk packets සහ මාලු බනිස් ලැබුණා..

ටික වෙලාවකින් first aid එකේ හිටිය කැලී අක්කයි, උද්දක මල්ලියි cooking event එක තියෙන තැනට ආවා. First team එක ආවෙ ඊටත් පස්සෙ.

අපේ event එකේ කරන්න තිබුණෙ අපි දෙන සීමිත සම්පත් ප්‍රමාණය උපරිම වශයෙන් භාවිතා කරලා බාහිර පරිසරයෙනුත් උදව් අරන් කන්න පුලුවන් විදිහෙ කෑමක් හදාගන්න එක. අපි එයාලට දුන්නෙ පාන්පිටි ටිකක්, පොල් බෑවක්, අර්තාපල් අලයක්, ළූණු ගෙඩියක්, පොඩි වතුර බෝතලයක්, ලුණු ටිකක්, කෑලි මිරිස් ටිකක්, භූමි තෙල් ටිකක්, පොල් තෙල් ටිකක්, පිහියක්, ටොනික් මූඩි 2ක්, පොඩි ලෝහ තැටියක්, පොල්කටු දෙකක් හා ගිනිකූරු 4ක් සහිත ගිනි පෙට්ටියක්.

හැම කණ්ඩායමකටම මිනිත්තු 5ක හැඳින්වීමකින් කල යුතු දේ ගැන උපදෙස් ලබාදෙනවා. ලබා දුන් සම්පත් භාවිතා කිරීම ඔවුන්ගේ කැමැත්තට අනුව සිදුවන්නක්. ඒ ගැන උපදෙස් ලබාදීමක් සිදුවන්නේ නැහැ. ආහාරය සකසා ගැනීමට හා වටපිටාව පෙර පරිදිම නැවත පිරිසිදු කිරීමට ලැබෙන්නෙ මිනිත්තු 20ක කාලයක්.


අපේ බලාපොරොත්තුව වුණේ ඔවුන් ටොනික් මූඩි භාවිතා කරලා පොල් ගාලා, වටපිටාවෙන් හොයාගන්න ගල් කිහිපයකින් ලිපක් හදාගෙන, දර කෝටු, වියලි ශාක පත්‍ර යොදාගෙන ලිප අවුලුවලා රොටියක් සාදා ගැනීම, අල පෙති කපා පුලුස්සා ගැනීම, ලුණු මිරිසක් හෝ සම්බෝලයක් සකසා ගැනීමයි.

ආහාරය සාදා ගැනීමෙන් පසු ගින්දර නිවා දමා,තැන තැන දමා ඇති අපද්‍රව්‍ය ඔවුන් විසින්ම නැවත රැගෙන යායුතු වෙනවා.

විනිශ්චය මණ්ඩලය විසින් ආහාර පරික්ෂා කර බලා ලකුණු ලබා දීම සිදුකරනවා. ලකුණු ලබා දීමේදී වැඩිපුර සැලකිල්ලක් දැක්වූයේ පුද්ගල ආරක්ෂාව පිලිබඳවයි. සම්පත් උපරිම ලෙස භාවිතා කිරීම, කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම, බාහිර පරිසරයට හානියක් නොකිරීම, නියමිත කාලයේදී ක්‍රියාකරකම අවසන් කිරීම වැනි කරුණුද සලකා බැලුනා.

ක්‍රියාකාරකම අවසන් වීමෙන් පසු සෑම කණ්ඩායමකටම මෙම ඉසව්වේ අරමුණ පැහැදිලි කරදෙනවා. එහිදී ලබාදුන් සම්පත් භාවිතා කරන ආකාරය, පුද්ගල ආරක්ෂාව පවත්වා ගන්නා ආකාරය, පරිසරයේ ඇති දෑ ප්‍රයෝජනයට ගන්නා ආකාරය, පරිසරයට බලපෑමක් ඇති නොවන අයුරින් කටයුතු කරන ආකාරය පිළිබඳ දැනුවත් කරනවා.


තරමක වැසිබර කාලගුණයක් පැවතීම නිසා කණ්ඩායම් 5 ටම තිබුණු විශාලතම අභියෝගය වුණේ ගින්දර දල්වා ගැනීමයි. කණ්ඩායම් 5න් කණ්ඩායම් 2ක් පමණයි එම අභියෝගය සාර්ථකව ජයගත්තේ.. ගිනි අවුලුවා ගැනීමට නොහැකි වුණු කණ්ඩායම්වලට කාළගුණික තත්ත්වය සලකා අමතර ගිනිකූරක් ලබාදුන්නද එයින් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකිවුණේ නැහැ. කෙසේ නමුත් සෑම කණ්ඩායමක්ම කුමන හෝ ආහාරයක් සකසා තිබුණා.

දහවල් 1ට පමණ අපට දිවා ආහාරය ලැබුණා. කණ්ඩායම් සියල්ලම event එක අවසන් කිරීමෙන් පසු එම ස්ථානය පිරිසිදු කර එතනින් පිටවුණා.”

Tarzen bridge එක කියන්නෙ හරිම ලස්සන වගෙම, ත්‍රාසජනක event එකක්. ඒ ගැන චූටි නංගි කිව්වෙ මෙහෙම.

"මේ school orientation program එකේ සුවිශේෂීම ත්‍රාසජනක අංගයක් තමයි Tarzan bridge එක කියන්නෙ. මේ පාර tarzan bridge එක දාන්න risk එක අඩු තැනක් තෝරගත්තෙ සහභාගි වෙන්නෙ පාසල් යන වයසෙ නංගිල මල්ලිල නිසා. සරසවි දොළේ ගල් පාළමට කලින් වංගුවේ උසට තියෙන මතුපිට පැතලි ගලයි, රූස්ස කොට්ටම්බ ගහයි යා වෙන්න තමයි මේ පාර tarzan bridge එක දැම්මෙ. අපි උදේ 6.30ට විතර එතනට යද්දිත් ඇබය අයියයි කනප්පුව අයියයි ඇවිත් හිටියා. නිකන් කඹ තුනක් දොළ හරහා දාල තියනව වගේ පෙනුණට, හරි විදියට, bridge එකේ යන අයගෙ ආරක්ෂාව තහවුරු වෙන විදියට tarzan bridge එකක් දාන එක සෑහෙන කට්ටක් කියල එදා තේරුනා. Tarzen bridge එක හදන්න 15 ඇබයා අයියා, 15 කනප්පුවා අයියා, 16 පිඹුරා, 16 හැන්දා සහ 17 සුට්ටා මල්ලි, 15 මැරියන් අක්කා, 15 පියාමැස්සි අක්කා, මම ( 16 චූටි නංගි) අපි හැමෝම මහන්සි වුනා. වැඩේට Menila rope දෙකකුයි, දෙපොට දාපු safety rope එකකුයි එකයි පාවිච්චි කලා.

විනාඩි විස්සක උපරිම කාල සීමාවක් තුළ අඩුම කාලයකින් bridge එක හරහා කණ්ඩායමේ සියලුම සාමාජිකයන් ගමන් කිරීම තමයි මොවුන්ගේ අභියෝගය වුණේ. මෙහිදී පාසල් ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳව විශේෂ සැළකිල්ලක් දැක්වීම ප්‍රධානම කාරණාවක් වුණා. ආරක්ෂිතව bridge එක හරහා ගමන් කරන්නේ කෙසේද යන්න සෑම සාමාජිකයෙකුටම වෙන් වෙන්ව පෙන්වා දීම ආරම්භයේදීම සිදු කලා. සියළු දෙනාම ඉතාමත් උද්‍යෝගයෙන් මේ සඳහා සහභාගි වුනු බව පෙනෙන්න තිබුණත් ඇතැමුන් තුළ බියක් නොතිබුණාම කියල කියන්නත් බෑ, මොකද යටම rope එක පිහිටල තිබුණෙත් පොළොව මට්ටමේ ඉදල අඩි 10ක් විතර උසකින්. ඒත් අපි සම්පූර්ණ විශ්වාසයකින් හිටියෙ rope එකේ යන කාටවත් safety ගැන බය වෙන්න දෙයක් නෑ කියල. Safety rope එකට සම්බන්ධ වුනු harness, වගෙම හැම ළමයෙකුටම දීපු helmet අපේ ඒ විශ්වාසය තහවුරු කලා. සෑම කණ්ඩායමක්ම හොඳ නායකත්වයක් යටතේ තම කණ්ඩායම දිරි ගන්වමින් කණ්ඩායම් හැඟීමෙන් යුක්තව, ආරක්ෂාව පිලිබඳ සැලකිලිමත් වෙමින් අභියෝගය ජය ගත්තා. පොත පතටම පමණක් සීමා නොවී ඔවුන්ට පාසල් ජීවිතය තුළ අත් විඳිය හැකි නවමු අත්දැකීමක් ළඟා කර දීමටත් , ත්‍රාසජනක ගවේෂණයන්ට නොබියව මුහුණ දීමටත් අප ලබා දුන් රුකුල ඔවුන්ගේ පාසල් ජීවිතයට මෙන්ම ඉදිරි දිවි ගමනටත් පන්නරයක් මෙන්ම ලොකු ශක්තියක්ද වේවි කියන එක අපිට විශ්වාසයි. පොඩ්ඩො ටිකගෙ ආරක්ෂාව ගැන වගෙම event එකේ සාර්ථකත්වය වෙනුවෙන් තමයි අපි හැමදෙනාම මහන්සි වුනේ. ඉතින් ඒ සංවිධානය කරගත් විදියටම event එකේ සාර්ථකත්වය දකින්න අවසානයේ අපිට හැකි වුනා."

Creative event එක පොඩ්ඩොන්ගෙ හිත්ගත්ත තවත් event එකක්. ඉතින් අපිට ඒ ගැන ටින් ටින් මල්ලි කිව්වෙ මේ විදියට.

"Event එක කලේ පොළොන්නරැවෙ. Task එක විදිහට තිබ්බෙ අපි කලින් හදලා තිබ්බ පොඩි ගෙයක structure එකක් කණ්ඩායමේ නායකයට පෙන්නුවට පස්සෙ team එක එකතු වෙලා ඒකට තව creative දේවල් එකතු කරලා නිර්මාණය කිරීම. ඒකට අපි දුන්නා විනාඩි 15 ක් වගේ කාලයක්. ඊට පස්සෙ විනාඩි 3 කින් ඒක ඇත්ත ගෙයක් වගෙ කාට හරි විකුණන විදියට ඉදිරිපත් කරන්න ඕන. අපි හැම team එකකටම කාඩ් බෝඩ් පෙට්ටි 2ක්, සෙලෝටේප් එකක්, ප්ලැටිග්නම් 3ක්, papercutter 1ක් සහ ගම් බෝතලයක් දුන්න. Team ඔක්කොම විනාඩි 15 ඇතුලත ලස්සන නිර්මාණශීලී ගෙවල් හදලා තිබ්බා. ඊට පස්සෙ තිබ්බෙ ඉදිරිපත් කරන්න. එහිදී ගේ හදද්දි වුන mistakes වලට අලුත් features දාල ලස්සන ඉදිරිපත් කිරීම් ටිකකුත් කෙරැවා. මේකෙදි අපි ගොඩක්ම බැලුවෙ නිර්මාණයෙ creativity එකයි , team work එකයි , ඉදිරිපත් කිරීමේ නිර්මාණශීලී බවයි. Team ඔක්කොම creative විදියට event එක කරා."

ඉතින් ඒ විදියට creative event එක ඉවර වෙද්දි first aid event එක ගැන ලොකු විස්තරයක් අපිට කිව්වෙ ගල් ආඳා මල්ලි.

"PeraChamps school orientation එකේ තවත් එක් ඉසව්වක් විදියට තමයි ප්‍රථමාධාර පිළිබඳ දැනුවත් කිරීම පැවැත්වුණේ. එදිනෙදා ජීවිතයේ දී වැදගත්වන මූලික ප්‍රථමාධාර කිහිපයක් සරලව පැහැදිලි කිරීම එහිදී සිදුවුණා. අස්ථි බිඳීමකදී උරමාවක් භාවිතය හා අවටින් සොයාගන්නා අවම සම්පත් භාවිතයෙන් හානිය අවම කරගන්නා අයුරු, සර්පයන් දෂ්ඨ කිරීමදී පිළිපැදිය යුතු කරුණු වගේම ආරක්ෂිතව රෝගීයකු ප්‍රවාහනය කරන අයුරු, ක්ලාන්ත වූ විට දියේ ගිලුණු විට දෙන ප්‍රථමාධාර ආදී අංග කිහිපයක්ම මෙම ඉසව්වට ඇතුලත් වුනා. එපමණක් නොවෙයි යම් අවස්ථාවක් ලබා දීම මඟින් ඉගනගත් දේ ප්‍රායෝගිකව භාවිතා කරන්නේ කොහොමද කියල ඔවුන්ට අත් හදා බලන්න දීම, ඇවිත් හිටිය පුංචි නංගිලා මල්ලිලාට අලුත්ම අත්දැකීමක් වෙන්න ඇති කියල හිතෙනවා. එක් එක් කණ්ඩායම දැක්වූ දක්ෂතා මත ලකුණු ලබා දුන්නා වුනාට විනෝදය තුලින් ඉගනීමත් ,ප්‍රථමාධාර පිළිබඳ යම් මූලික අවබෝධයක් ලබා දීමත් තමයි අපේ ප්‍රධාන අරමුණු වෙලා තිබුණේ.

බොගා අයියා, කිරලි අක්කා, පැණිකජු අක්කා, ටොපියා හිටියා මාත් එක්ක එදා.

අපි ප්‍රථමාධාර ගැන ඇවිත් හිටිය පොඩි ළමයින්ගේ සාමාන්‍ය දැනීම බැලුවා. Wolves ලා තමා හොදටම perform කරේ. ගෑණු ළමයින්ට උස්සන් යන ඒවා කරන්න බැරි උණා, ඕවා තමා අමතර සිද්ධි උනේ."

Wolves, Cobras, Swans, සහ Penguins තමයි පොඩ්ඩොන්ගෙ group හතර වුනේ. මේ groups වලට සාමාජිකයන් බෙදන්න තීරණය කරල තිබුනෙ පාසල් තුනෙන්ම මිශ්‍ර වෙන විදියට. ඉතින් පොඩ්ඩොන්ටත් අවස්ථාවක් ලැබුනා අලුත් යාලුවන්ව හඳුනා ගන්න. මේ හැම group එකටම club එකේ සාමාජිකයෙක් හිටියා බඩී කෙනෙක් විදියට. බඩී කෙනෙක්ගෙ රාජකාරිය වුනේ පොඩ්ඩන්ට කැම්පස් එක හුරු නැති නිසා එයාලව හරි route එකේ අරන් යන එක, එයාලගෙ ආරක්ෂාව වගෙම එයාල ගන්න ලකුණු ගැන බලාගන්න එක වගේ දේවල්. අපේ බඩීල හතරදෙනා වුනේ ඇට්ටරයා, චාලි, නැනී සහ සෙන්පති. ඉතින් අපි චාලි මල්ලිගෙන් අහල බැලුව එයාගෙ අත්දැකීම්.

"Group එකේ ළමයින්ට මුලින්ම ලැබුනා අභියෝගයක්. ඒ තමයි බිත්තරයක්. මුළු දවස පුරාවටම ඒක බිඳෙන්නෙ නැති වෙන්න ඉවෙන්ට් ටික කරන්න වුනා එයාලට. ඉතින් එයාල බෝතලයක් කපලා බිත්තරේ රෙදි කෑලි වල ඔතල බෝතලේ ඇතුලට දාල ආරක්ෂාකාරීව තියා ගත්තා. පළවෙනි ඉවෙන්ට් එක වුනේ first aid එක. දෙවනියට තිබුනෙ cycle event එක. ඒ දෙකම හරිම ලේසියෙන් කලා team එක. ඊට පස්සෙ තිබුන rock climbing event එකත් අනිත් group වලට වඩා ඉක්මණට කරල තිබුණා. හතරවෙනියට තිබුන tarzen bridge එකෙත් team එකම ගියා. පස්වෙනියට තිබුනෙ cooking event එක. සෙට් එකම පොල් ගාල රොටිය හදන්න ගත්තා. ලිප පත්තු කරන්න දැම්මෙ පොඩි උන් දෙන්නෙක්. කොහොම හරි දීල තිබ්බ දේවල් වලින් ලිප පත්තු කරගන්න බැරි වුනා. අන්තිමෙදි රොටිය අමුවෙන් තමා කන්න වුණේ. සම්බල නම් හොදට හදල තිබුනා. Spider net එකත් ලේසියෙන්ම කලා. ඊට පස්සෙ lunch එක අරන් mini games වලට සෙට් වුනා. හය වෙනියට තිබුන creative event එකත් කට්ටිය ගේමක් නැතුව කලා. අන්තිමට තිබුන Treasure hunting ඉවෙන්ට් එකත් ටීම් එකේම කට්ටිය හැමතැනම ගිහින් අන්තිමට හොයන්න ඕන එක ඉස්සෙල්ලම හොයන් ආවා. ඊට පස්සෙ තමයි ඉතුරු ටික හෙව්වෙ. ඉතින් ඔහොම තමයි දවස ගෙවුනෙ. හොඳට වැඩ ටික කලා."


හැමදේම මේ විදියට වෙද්දි ඔක්කොම ගේම්ස් ඉවර කල ටීම් වලට එයලගෙ කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ලැබෙන්න ඕන නිසා mini games පවත්වලා තිබුනා. ඒ අතරතුර කඩී අක්කල පොඩ්ඩොන්ගෙ ජීවිතේට වැදගත් වෙන ගොඩක් දේවල් කියල දීල තිබුනා.

මේ හැමදේම අතරෙ පාසල්වල ළමයින්ට ගුරුවරුන්ට වගේම ක්ලබ් එකේ එක එක ඉවෙන්ට් වල දවස පුරාම රැඳිල ඉන්න සාමාජිකයින්ට දෙන කෑම සම්බන්ධව වැඩ කටයුතු කරන්න food committee එකක් තිබුන. ඉතින් පැඟිර ඒ ගැන අපිත් එක්ක අත්දැකීම් බෙදා හදා ගත්තා. පැඟිර, ගැටය මල්ලී, ගුලිය මල්ලී සහ තවත් කීපදෙනෙක් තමයි හැම තැනටම ගිහින් දවස පුරාම කට්ටියට කෑම ටික දුන්නෙ. අදියර 5ක් යටතේ. උදේ, දවල්, රෑ කෑම වගේම අමතරව තවත් අවස්ථා දෙකකුත්. ඉතින් හැමෝටම ගේම්ස් යන අතරතුර ඒ වැඩ කරන්න, ඉස්කෝල වලින් ආපු පොඩ්ඩො ටිකට වෙලාවට කෑම ටික දෙන්න, ගුරුවරුන්ට අවශ්‍ය දේවල් දෙන්න එයාලත් ගොඩක් මහන්සි වුණා කෑම ඕඩර් කිරීමෙ ගෙන්වීමෙ ඉඳන්ම.


Album 3 >> Pera Champs School Orientation Programme(Closing Ceremony)


ඉතින් මේ හැමදේමත් එක්ක, සාර්ථක කරගත්ත PeraChamps School Orientation Program එකේ closing ceremony එක තිබුනෙ Agriculture ෆැකල්ටි එකේ අප්පදොරෙයි හෝල් එකේ. දවස් ගණනාවක මහන්සියක අවසානය, එක දිනක් පුරාවට පැවති වැඩසටහනක අවසාන අංගය සංවිධානය කරගත්තු විදියටම ලස්සනට සහ වෙලාවට පවත්වන්න සංගමයට හැකි වුනා. අපිට මෙම සමාප්ති උළෙල ගැන මතකය අවදි කලේ හැඟුම්.

"ගවේෂකයන්ගේ සංගමය මගින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනෙහි සමාප්ති උළෙල 22 දින සවස 5 සිට අප්පදොරෙයි හෝල් එකේ පැවැත්වුණා. දිනය පුරාවටම විනෝදජනක, ත්‍රාසජනක, නැවුම් අත්දැකීම් රැසකට මුහුණ දුන් ළමුන් මෙයට මහත් උද්‍යෝගයෙන් සහභාගි වුණා. සංගමයේ ජේෂ්ඨයින්ගේ අත්දැකීම් රැසක් පැමිණ සිටි සියලු දෙනා සමඟ බෙදා හදා ගැනීම එහි කදිම අවස්ථාවක් වුණා. ඔවුන් විසින් සංගමයේ ඉතිහාසය, හා දියුණුව පිළිබදව හරවත් දේශන පැවැත්වූ අතර විභව සාහිත්‍ය සංගමය විසින් සිත්ගන්නා සුලු ගායනයන් ඉදිරිපත් කළා. අවසානයේ ඉහළ ළකුණු ලබා සිටි කණ්ඩායම ජයග්‍රාහකයින් ලෙස නම් කල අතර සිසුන්ගේ දක්ෂතා අගයමින් සහතික පත් ප්‍රධානය කිරීමෙන් පසු සමාප්ති උළෙලෙහි නිමාව සනිටුහන් කළා."

අපි PeraChamps School Orientation Program-2020 හි නිමාව දැක්කෙ ඔය විදියට, හිත් ගොඩක සතුට සිනහව එක්ක. අකුරු වලට පෙරලල ඉවර කරන්න බැරි එකමුතුකමක්, සාර්ථකත්වයක්, මහන්සියක් තමයි ඒ. මතක ගොඩක්, අත්දැකීම් ගොඩක් එකට ගැට ගහල මේ විදියට අකුරුවලට පෙරලෙද්දි තව බොහෝ දෙනෙක් ඇති මේ සාර්ථකත්වයත් එක්ක මේ සතුටත් එක්ක අත්වැල් බැදිච්ච. තව බොහෝ මතක ඇති හිත් අස්සෙම සුන්දර මතකයන් විදියටම. අකුරෙන් අකුර බැඳිල ලියවෙන මේ හැමදෙයක් වගේම අතින් අත බැඳිල හිත් වලින් එක අරමුණක් වෙනුවෙන් එකතු වෙලා ලොකු ශක්තියක් තිබුන හැම කෙනෙක් ලඟම, මේ හැම දෙයකම සාර්ථකත්වයට. ඉතින් ඒ සහෝදරත්වය, එකමුතුකම, සංවිධානාත්මක ශක්තිය සමඟ විශ්වවිද්‍යාලයීය ගවේෂකයින්ගේ සංගමයට තවත් මෙවැනි අගනා කාර්‍යයන් වල යෙදෙන්නට හැකියාව ලැබෙන්න කියල කෙරෙන පැතුමත් සමඟ ඒ වටා එකතු වුන හැම කෙනෙක්ටම මතක ආවර්ජනයක යෙදෙන්නට හැකි වෙන්නත්, ඔවුන්ට හදපිරි ලෙංගතු තුති කුසුම් පුද කරන්නටත් දරපු පුංචි උත්සහයක් තමයි මේ.

මේ හැමදේම මේ විදියට එකට එකතු කරගන්න අපිට සහය වුනේ,

Isuru Sandeepa, E/15

Charuka Theekshani, Agri/ 14

Ama pathirana, Agri/ 15

Sasanna Indunil, Agri/ 15

Amani Sanjula, S/ 16

Madushi Thilakshika, Agri/ 15

Kalpa Jayalath, E/ 16

Hasith Jayasanka, Vet/ 16

Shashini Marasinghe, AHS/ 16

Sasindu Wijebandara, E/ 15

Vindula Rathnayake, E/ 16

Wishva Madushanka, E/ 16

Sanduni Sathsarani A/14

Shakila Madhuwanthi Karunarathna, S/16

Sanjeewa Maduranga, E/ 15

Dilusha Senarathna, S/ 16

Harsha Dharmapriya, E/ 17

Kalani Weerasinghe, S/ 16

Anjali Abeyrathne, S/ 16

Shanika Rajapaksha, S/ 15

Sanduni Madushika, Agri/ 15

P.H.I. Udantha, S/ 17

Achini Uresha, S/ 15

G.D.M.P. Amarasooriya, S/ 17


ඉතින් ඒ හැමෝටමත් අපේ හද පිරි ස්තූතිය….


සටහන හා සංස්කරණය:

Agri/15 S.S.S.Sewwandi,

S/15 Rochana Rumalshan,

E/14 Gayan Niroshana.