Hanthana Exploration-2016

2016ක් වූ මාර්තු මස 27 වන ඉරු දින පේරාදෙණිය

සරසවියට තවත් නැවුම් දවසක් වෙද්දී ගවේෂකයින්ගේ සංගමයට නම් තවත් නැවුම් හීනයක සැබෑවක්ම විය. ඒ නව ගවේෂණ වාරයක ආරම්භක දිනයයි. සුපුරුදු හන්තාන කඳු වැටිය ගවේෂණයට කනිෂ්ඨ සාමජික සාමාජිකාවන් හා ජ්‍යේෂ්ඨ සාමාජික සාමාජිකාවන් 88 දෙනෙකුගෙන් සැඳුම්ලත් කණ්ඩායම්ක් විද්‍යා පීඨය ඉදිරිපසට එක් රැස් විණි.

ගවේෂක සංගමයේ සභාපති වන ජිලා අයියා නවක සාමජික සාමාජිකාවන් ඉතා උණුසුම්ව පිළිගන්නා අතරතුර හන්තාන ගවේෂණය ගැන කෙටි විස්තරයක් ද ඉදිරිපත් කළේය.අනතුරුව ගවේෂණය සඳහා ඉදිරිපෙල නියමුවන් සහ පසුපෙල නියමුවන් නම් කෙරිණි. ඉදිරිපෙල නියමුවන් ලෙස ජ්‍යේෂ්ඨ සාමාජිකයින්ගෙන් කෑරලා අයියාත්, කනිෂ්ඨ සාමජිකයින්ගෙන් මද්දු මල්ලීත් එක් වුණු අතර, පසු පෙල නියමුවන් ලෙස ජ්‍යේෂ්ඨ සාමාජිකයින්ගෙන් ජබුක්කුවා අයියාත් එක් වුණි.

උදෑසන 8ට පමණ විද්‍යා පීඨය අසලින් බෝවලවත්ත පාර ඔස්සේ අමායා හිල්ස් තානායම දක්වා පියවර මැන්නෙමු. එහිදී ගමන් විඩා හැරි අප උදෑසන 9 පමණ වන විට හන්තාන කඳු වැටිය පාමුලට ලඟා වුණෙමු. ගම්මානය මැදින් පැමිණි එතෙක් දුර එතරම් වෙහෙසක් නොවුණු අතර කඳු වැටිය පාමුල වතුර පීල්ලෙන් වතුර බී, බෙදා දුන් බිස්කට කෑ අපි ගමනට අවශ්‍ය වතුර එක් රැස් කර ගනිමින් හන්තාන කන්ද තරණය ආරම්භ කලෙමු. එහිදී එකිනෙකා හා වතුර ගසා ගනිමින් විනෝද වීමට ගවේෂකයින්ට අමතක නොවුණි.

තරමක අව් රශ්මියකින් යුතු වූ එදින තෙත් වූ ඇඳුමින් සිටීම පහසුවක් වන හෙයින් වතුර ගැසීම හුදෙක් විනෝදය පිණිසම වන්නේ නොවේ. එතැන් සිට තේ වත්තක් මැදින් වැටුණු කුඩා අඩි පාරක් දිගේ ඉදිරියට ගිය අප හන්තාන කඳු මුදුන වෙත නැගුණේ දැඩි අව් රශ්මියත් සමඟය.

මෙහිදී අප දුටුවේ ඉලුක් පඳුරු සියල්ලටම ගිනිතබා ඇති අයුරුයි.ගවයින්ට අලුත් තණ ලබා දීමට ගම් වැසියන් විසින් මෙසේ ගිනි තබන බැව් අපට ගවේෂක කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ සාමාජිකයින් පැවසීය. මේ නිසාම අධික වියළි කාලගුණයක් සමඟ හට ගත් දැඩි පිපාසාවෙන් යුතු වුවද අප හන්තාන කන්ද මුදුනේ කුලුණු තුන වෙත ලඟා වූයේ කඳු මුදුනට යෑමේ ආසාව කිසිඳු බධාවක් හමුවේ නොසැලුන නිසාවෙනි.

අවසාන කුලුනෙන් පසු හමු වූ තරමක් අසීරු මාර්ගය ඔස්සේ ගමන් කල අපට හන්තාන ගල්පොත්ත හමු වීම මහත් ආස්වාදයක් ගෙනදුනි. එහිදී කෙතරම් අව් රෂ්මිය දැනුනද,කඳු වලින් වට වූ ඒ සොඳුරු දසුන අප කුල්මත් කිරීමට සමත් විණි.

එහිදී ජිලා අයියාගේ කතාවෙන් පසු ඔහුගේ මෙහෙය වීම යටතේ ගවේෂකයින්ගේ සංගමයේ කනිෂ්ඨ හා ජ්‍යේෂ්ඨ සාමාජිකයින් එකිනෙකා හඳුනාගත් අප ගොට්ටා අයියාගෙන් හන්තාන පිලිබඳ ඉතිහාසගත වැදගත් කතාවකට සවන්දුණි.මී මැස්සි අක්කාගෙන් සමනල්ලු , ගස් වර්ග ගැන දැනුවත් වූ අප ගවේෂකයින්ගේ සංගමයේ හර පද්ධතිය හා එහි වටිනාකම පිලිබඳ පින්තු අයියාගේ කතාවෙන් දැනුවත් වුනි.

ඉන්පසු අපි කඳු මුදුනට සමුදී ගල් තලාව දිගෙහි පහලට පැමිණ කැලෑබඳ ප්‍රදේශයක් හරහා පිලිස්සී ගිය ඉලුක් සහිත ප්‍රදේශයකට පැමිණියෙමු. නැවතත් වන ලැහබක සිහිලස අප වින්දේ දෙබරුන්ගෙන් ප්‍රවේශම් වීම සඳහා නිහඬතාවය ද රකිමිනි. අවසානයේ යලිත් තේ වත්තක් වෙත අප පැමිණියේ අධික පිපාසාවෙන් ද පෙලෙමිණි. එහිදී පීල්ලකින් වතුර පුරවා හිතේ හැටියට ජලය පානය කල අපි යලිත් වතුරෙන් විනෝද වීමට ද අමතක නොකලෙමු. එහිදී මීමැස්සි අක්කාගේ උපන්දිනය වෙනුවෙන් අපට චොකලට් ද ලැබිණි.

ඉන්පසු පයිනස් කැලය හරහා අපහසුවකින් තොරව පහලට පැමිණි අප හන්තාන කන්ද තානයම වෙත සවස 3.30 වන විට පැමිනුනි.එහිදී සූරිත් අක්කගෙන් සිසිල් බීම ලැබුණු අතර එය අපගේ ගමන් විඩා නිවාලන්නට සමත් වුනි. උඩපේරාදෙණිය පාර හරහා විශ්ව විද්යාලය බලා එන ගමනේදී දොලපාරක් අසල සියලුම ගවේෂකයින්ට නෑමට අවස්ථාවක් ලබාදීමට ජ්‍යේෂ්ඨ සාමාජිකයින්ට අමතක නොවුණි. යලිත් අල්විස් පොකුණ අසලද විනෝද වූ අප සවස 6.30 පමණ වන විට ගවේෂකයින්ගේ ගීත ගැයීමෙන් පසු යලි හමුවන බලාපොරොත්තුවෙන් යුතුව විසිර ගියෙමු.