Namunukula Exploration - 2016

ජූලි නමවෙනිදා රාත්‍රිය, තවත් සොඳුරු නැවුම් අත්දැකීමක් විඳින්නට අපේ සංගමයේ සාමජික සාමාජිකාවන් සූදානමෙන්.මේ අත් දැකීම නැවුම් වෙන්නේ එය පලමුවර සිදුවෙන එවැනි ගවේෂණයක් වූ නිසාවෙනුයි. ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ සාමාජිකයින් පිරිවැරුණු අපේ කණ්ඩායම නමුණුකුල කන්දේ රැයක් ගත කිරීමටයි සූදානම. දර, කෑම, බීම, බෙහෙත් හේත් වගේම කඳවුරු වල බඩු බාහිරාදියත් ලකලැහැස්ති කරගෙන රාත්‍රී නවයට විතර අපි සුපුරුදු විද්‍යා පීඨ පරිශ්‍රයෙන් පිට වුනේ තරමක සිත් දෙගිඩියාවකින්. මොකද මේක අපට අලුත්ම අත්දැකීමක් වුනු නිසාවෙන්. බස් රථයේ ගමන ගීතයෙන් සංගීතවත් වෙද්දී කාලය ගලා ගිහින් තිබුනේ අපිට හොර රහසේ. පාන්දර එක පමණ වන විට රන්දෙන්ගල හරහා බදුලු පාරෙන් අපි සිරි සීවලී මහාවිද්‍යාලය වෙත පැමිණියා.පාසලේ විදුහල්පතිතුමාගේ උණුසුම් පිලිගැනීම අප හිත්වලට කා වදිද්දී පෙර නොවූ විරූ අත්දැකීමක් ලබන්න අප හිත් ලකලැහැස්ති වුනා. සංගමයේ සභාපති ජිලා අයියා විසින් අපව අමතා පසුදින වැඩ කටයුතු බෙදාගනු ලැබුවා. එහිදී ලැබූ තවත් එක් සුවිශේෂී වදනක් වූයේ කණිෂ්ඨ අප පාන්දර පහටත් ජ්‍යේෂ්ඨ ඔවූහු පාන්දර හතරටත් අවදිවීමට කතිකා වීමයි. ඔවුන්ගේ සහෝදරත්වයේ හැඟීම ඉක්මවා ගිය සෙනෙහසක් ඒ වදන් තුලින් අප සිත් හි ජනිත වුනා.

ඒ සිතුවිල්ලත් එක්කම නින්දට ගිය අපි පසුදින ඇහැරුණේ ජ්‍යේෂ්ඨයින් ඇහැරිලා වැඩ කරන සද්දෙත් එක්ක. ඇහැරුණු විගහට පලවෙනියෙන් ඇහැව්වෙ තේ බීලද? කියලයි. ඊයේ රෑ වදනට වඩා එහා ගිය ලෙන්ගතුකමක් සිතට දැනෙද්දී විගහට තේ බීලා අපිට පැවරුණු වැඩේට අපි ගියෙ පහුවෙලා ඇහැරුණාට තිබුනු කණස්සල්ලකුත් එක්ක. කොහොම වුනත් උදේ අට විතර වෙනකොට කෑම කාලා, දවාලටත් එක්ක කෑම උයාන පාසලත් තිබුනු විදියටම අස් කරලා පිටත් වුනේ උදේ නවයට විතර.

ආයෙමත් බස් රථයෙන්ම 10.30 පමණ වනතුරු ගමන් කරලා, කදන ප්‍රාදේශීය රෝහල පසුකරමින් කන්ද නගින්න ගත්තේ පුරුදු විදියටම ඉදිරිපෙල හා පසු පෙල නියමුවන් (හේඩ් , ටඉල්) නම් කිරීමෙන් පසුවයි. දවලාට කෑම බැඳගත් කඳට අමතරව කූඩාරම් බඩුත් රැගෙන අප, වසා දැමූ තේ කර්මාන්තශාලාවක් හරහා කොට්ටේගොඩ බංගලාව පසුකරමින් දෙමල ගම්මනයක් වෙත සේන්දු වුනා.එහිදී වතුර බී, ගම්මානයේ වැසියන් සම්ඟ ද සුහද වීමෙන් විඩා නිවාගත් අපි යලිත ගමන ආරම්භ කලා.

තේ වතු මැද්දෙන් ඇති පාර දිගේ ගිය අපට හමුවූ ගල් පොත්තේ සිට යලිත් විවේක ගත් අප එහිදී සංගමයෙන් ලැබෙන බිස්කට වල රසෙන් වෙහෙස නිවා ගනිමින් යලි ඉදිරියට ගියා.ඒ වන විට දහවල් දොලහාමාර පමණ වී තිබුනු අතර පැය දෙකක පමණ ගමනකින් පසු කෝවිලක් අසලට ලඟා වුනු අප දහවල් ආහාරය ගැනීමේදී දහවල් දෙක පමණ වුණා. කඳු මුදුනට අවැසි තරමට ජලය ලොකු බෝතල්(බූලි ) වලට පුරවාගත් අප කණ්ඩායම ඒවාද රැගෙන කඳු මුදුනට ලගාවෙද්දී තරමක තෙහෙට්ටුවකින් යුකත් වුනා.

හවස පහමාරට පමණ කූඩාරම් ගැසීම ආරම්භ කල අතර එය කනිෂ්ට සාමාජිකයින් වන අපට අලුත් අත්දැකීමක් වුනා. කූඩාරම ඉදි කිරීමට නොයෙකුත් තැන් උත්සහ කර අවසානයේ එක් තැනෙක අප කූඩාරම ඉදි කරත්දී තවත් පිරිසක් රාත්‍රී අහාරය සකසා තිබුනා.රත්‍රී අහාරය ලෙසට කඩල අහාරයට ගත් අප ගිනිමැලය වටා ඉඳ සුපුරුදු පරිදි එකිනෙකා හඳුනාගත්තා. ජ්‍යේෂ්ටයින්ගේ අත්දැකීම් විස්තර ඇසීමෙන් රාත්‍රිය අප වෙලාගත් සීතල අමතක වෙද්දී, කාලයකට පසුව පැමිණි බුල්ටෝ අයියාත්, සොත්ති උපාලි අයියාත් තවත් ජ්‍යේෂ්ඨ සමාජිකයින්ගේත් කනිෂ්ට අපගේත් හඬින් සංගීතවත් වූ රාත්‍රිය ගිනිමැලයෙන් උණුසුම් විය.

කන්දක් උඩ වූ පලමු කූඩාරම් රාත්‍රිය පහන් කල අපි කඳු මුදුනට හිරු කිරණ විහිදෙනු බැලීමෙන් කුල්මත් වුණා. සොබාදහමේ අපූර්වතම් නිර්මාණයන් කෙතරම් බලා සිටියද දෑස් මිද්විය නොහැකි බැව් දැනුනමුත්, එහි අඩුව තරමකට මකා ගැනීමට එහි ඡායාරූප ගත් අප යලි කූඩාරම් වෙත පැමිණ උදෑසනට සමපෝෂ කෑමෙන් අනතුරුව කූඩාරම් අස් කිරීමෙහි යෙදුනා. මෙහිදී ගවේශක්යින්ගේ සංගමය තම පියසටහන් තබා මතක සටහන් පමණක් රැගෙන යන බැව් අප දුටුවා. පෙර තිබූ පරිද්දෙන්ම සියල්ල අස්පස් කල අපි යලිත් උදෑසන 7.10 වන විට කන්ද බැසීමට ගත්තා. උපාසක අයියලාගේ ගෙදරින් ප්‍රණීත උදෑසන ආහාර වේලක් ලත් අප, ගොට්ටා අයියලාගේ ගෙදරින් ලැබුණු දහවල් ආහාරය රැගෙන පිටත් වුනා. සඳා සොයුරියගේ නිවසින්ලත් සංග්‍රහයත් බුක්ති විඳි අප හක්ගල උද්‍යානයේදී දහවල් ආහාරය ලබා ගත්තා. එය ඉතා ප්‍රණීත ආහාර වේලක් වූ අතර ඒ සියලු අහාර වේල් සඳහා විශාල වෙහෙසක් දරා ඇති බැව් දැනුනා.

නැවතත් බස් රථයෙන් ගමන් ඇරඹි අප, මාෆියා නම් කාඩ් ක්‍රීඩාවේ යෙදෙමින් පැමිනීම නිසාම ගමන් වෙහෙස නොදැනී ගියා. තවත් සොඳුරු නවමු අභියෝගාත්මක අත්දැකීමක් අවසන් කරමින් විශ්වවිද්‍යාලය වෙත් පැමිණි අප, සතුටින් විසිර ගියේ යලි විගසින් හමුවන බලාපොරොත්ත්වෙනි.