Thotupala Kanda Exploration - 2017

රාම, රාවණා පුරා වෘත්තයේ කේන්ද්‍රිය හිමිකාරිත්වයක් දරන ශ්‍රී ලංකාවේ තෙවැනි උසම කදු මුදුන වන "තොටුපොල කන්ද" වෙත ගිය ගවේෂණ චාරිකාව මතක් කිරීම පවා හරිම අපූරුය.


ශ්‍රී ලංකාවේ මධ්‍යම කදුකරයේ උසින්ම පිහිටි සුන්දරතම තැනිතලා බිම් කඩ වන "හෝර්ටන් තැන්නේ" පිහිටි තවත් අපූරු කදු පන්තියක මුදුනත තරණය කිරිමේ උද්යෝගයෙන් සුie\s 110ක් පමණ වූ ගවේෂණ කණ්ඩාය්ම හන්තාන සරසවියෙන් පිටත් වන්නේ රාත්‍රී 11 ට සරසවි උයනෙන් පිටත් වන තැපැල් දුම්රියට ගොඩවීමේ අදිටනින් ය. මද වේලාවෙන් පැමිණි රාත්‍රී තැපැල් දුම්රියට ලහි ලහියේ ගොඩ වූ ගවේෂකයෝ අතෝරක් නැතිව ගී ගයන්නට වූයේ "ඔහිය" දුම්රියපොල දක්වා ගෙවා දමන්නට ඇති තරම් කාලය තිබූ හෙයිනි. බිං ගෙවල් මැදින් ඇදෙන් දුම්රියේ මැදිරි දොරකඩ ඉදගෙන කෑ ගසමින්, ගී ගයමින් සිත් සේ විනෝද වූ ගවේෂකයෝ ඔහිය දුම්රියපොලට ළඟා වන විට පාන්දර 4.30ට පමණ විය.


හාත්පස පරිසරයම වෙලාගෙන තිබූ ඇග කිලිපොලා යන තරම් වූ සීතලට තෙත් වෙමින් තාවකාලික නවාතැන්පලට ඇදුණු ගවේෂකයෝ සීතලද නොතකා ලිප් බැදගෙන කෑම පිස්න්නට පටන් ගත්තේ ගවේෂකයන්ටම ආවේණික වූ තවත් අපූර්වතම කලාවක් හදුන්වා දෙමිනි. ජේෂ්ඨ ගවේෂකයන්ගේ විශිෂ්ඨ කෑම පිසීමේ කලාවට ඉක්මනින්ම අනුගත වූ නවකයෝද කෑම පිසීමෙන් ලැබුවේ නොමද ආස්වාදයකි. තමා අතින්ම පිසා ගත් උදෑසන ආහාර වේලෙන් සප්පායම් වූ ගවේෂකයෝ දිවා ආහාරයද කද බැදගෙන සුන්දර හෝර්ටන් තැන්න කරා ඇවිද යන්නට විය. ටික දුරක් ඇවිද යද්දී හමු වූ බඩු රැගෙන යාමට පැමිණි ලොරි රථයටම ගොඩ වූ ගවේෂකයෝ වංගු සහිත මාර්ගයේ පොද වැස්සෙන් සීතලට පහර කමින් හෝර්ටන් තැන්න පිවිසුමට ලගා වූයේ කිසිදා නොමැකෙන අපූරු අත්දැකීමක් ජීවිතයට එක් කර ගනිමිනි.


මොහොතින් මොහොත වෙනස් වන කාලගුණික රටාවන්ගෙන් සුසැදි හෝර්ටන් තැන්නේ චමත්කාරය විදිමින් ගවේෂකයෝ කද බැදගෙන ආ බත් මුල්වල රස බැලුවේ ගවේෂකයන්ගේ ආහාර පිසිමේ ප්‍රවීණත්වය පිළිබඳව අටුවා ටීකා කතා කියමිනි.


දිවා ආහාරයෙන් පසුව හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට ඇතුල් වීම සදහා අවසර ලබාගත් ගවේෂකයෝ තම ඉලක්කය වූ මුහුදු මට්ටමේ සිට 2357 m ක් උසඉන් පිහිටි තොටුපොල කන්දේ කදු මුදුනත සොයා ගමන් ඇරඹුවේ දැඩි උනන්දුවකිනි.


පදුරු සහිත තෘණ විශේෂයන්ගෙන් ගහණ එක යායට විහිදුණු ඉමක් කොනක් නොපෙනෙන තැන්න මැදින් වැටුණු මාවත දිගේ ඇවිද යන ගවේෂකයන් පිළිගන්නට සීතල වළාකුළු පාවී ඇවිදින් ඇගේ හැපෙන්නට විය. එකිනෙකාට ඉදිරියෙන් යන්න වුන් නොපෙනෙන තරම් වූ දැඩි මීදුම අතරින් හමා එන සීතල සුළඟත් හිරිපොද වැස්සත් කොතෙක් පීඩා දුන්නද ගවේෂකයින්ට එය බාධාවක් නොවීය. වන දෙපස තැනින් තැන මතුවන ගෝනුන් සහ වදුරන් රංචු පිටින් ගවේෂකයන් දෙස බලා සිටින්නට වූ නිසා ගවේෂකයන්ගේ කැමරාවලට නම් මද විරාමයක් හෝ ඉදහිටවත් ලැබුනේ නැත. බිනරමල් සහ මහරත්මල් පදුරුවලින් වටවූ සීතල දිය පිරි පැහැදිලි ජල තලයන්ගෙන් යුත් කුඩා විල්වල ජල තලය මතට වැහිපොද වැටෙද්දී තරු රටා මවන දසුන චමත්කාරජනක දසුක්ම විය. එහි චමත්කාරය නිසාම තැන තැන හමුවුණු සෑම විල් තෙරකම හිද වැහි අදුර මැද්දේ වුවද ඡායාරූප ගැනීමට ගවේෂකයෝ අමතක කලේ නැත. ඒ පරිසරය මැවූ චමත්කාරයට වශී කෘත වූ ගවේෂකයෝ ඔවුන්ටත් නොදැනිම තොටුපොල කන්ද මුදුනටම ළගා වී සිටි අතර කදු මුදුන තරණය කිරීමේ ප්‍රීතිය සෑම සිතකම සනිටුහන් වී තිබිණ.


මීදුම සහ වැහි පොද තවමත් වැටෙමින් තිබූ හෙයින් හාත්පස පරිසරය පැහැදිලිව දැක ගන්නට නොහැකි වුවද ලංකාවේ තෙවැනි උසම කදු මුදුන තරණය කිරිමේ ප්‍රීතියෙන් යුත් ගවේෂකයෝ කදු මුදුනෙහි හිදගෙන එකිනෙකා හදුනා ගැනීමට පටන් ගත් අතර අත්දැකීම් බහුල ජේෂ්ඨ ගවේෂකයෝ නවකයින්ට තොටුපොල කන්දේ වූ සුවිශේෂත්වය පිළිබඳව බොහෝ දැනුම බෙදා දෙන්නට විය. සීතල නිසා කුසගින්නද වැඩි වී තිබූ හෙයින් රැගෙන විත් තිබූ බනිස් සහ බිස්කට් ආහාරයට ගත් ගවේෂකයෝ තොටුපොල කන්දට සමු දුන්නේ නැවතත් ඔහිය දුම්රියපොල බලා ගමන් කිරීමට තිබූ හෙයිනි.


ඔහිය දුම්රියපොලට නැවත පැමිණෙන විට සවස 6ට පමණ ලගා වී තිබිණි . සීතල නිවාගන්නට තේ පානය කරමින්, තේ වල රසගුණ කතා කරමින් දුම්රියපොල පුරා තැන තැන රැස්වූ ගවේෂකයෝ තොර තෝංචියක් නැතිව කතා කරන්නට වූයේ තවත් සුන්දරතම ගවේෂණ චාරිකාවක විරල අත්දැකීම්වල මිහිරි බවයි. දුම්රියපොල අසල තිබූ කඩයකින් රාත්‍රී ආහාරය ලබාගත් ගවේෂකයෝ මීළගට බලාපොරොත්තුවෙන් රැදී සිටියේ රාත්‍රී 9ට පැමිණෙන දුම්රියට ගොඩවීමටය. එහෙත් එම දුම්රිය රාත්‍රී 10 දක්වා ප්‍රමාද වන බව දැනගන්නට ලැබුණු අතර කාලය ගෙවා දැමීමට ගවේෂකයන්ටම ආවේණික වූ මාෆියා ක්‍රීඩාව පටන් ගත් නිසා නැවතත් ගවේෂකයන්ට නව පණක් ලැබුනාක් මෙන් විය. සියල්ලෝම යුහුසුලුව මාෆියා ක්‍රීඩාවේ නිරත වූ අතර ඉන් ලද ප්‍රීතිය නිසා අතරමගදී දුම්රිය පැමිණීම ගැන ඔවුහු නොසතුටු විය. අවසන ක්‍රීඩාව අතහැර දමා නැවතත් සරසවිය බලා පිටත් වන්නට දුම්රියට නගින්නට අකමැත්තෙන් වුවද ගවේෂකයන්ට සිදුවිය.


දෙදිනක්ම තොටුපොල කන්ද ගවේෂණය වෙනුවෙන් කැපකළ ගවේෂකයෝ පාන්දර 4ට පමණ සරසවියට නැවත පැමිණියේ සුන්දර තොටුපොල කන්ද ගවේෂණයේ මිහිරි මතකයන් ගොන්නකින් සිත් පුරවා ගනිමිනි . සැබෑවටම තොටුපොල කන්ද ගවේෂණ චාරිකාව සුන්දර ය. අපූරු ය. යළි යළිත් ගවේෂණය කරන්නට තරම් වටින්නේය.


තොටුපොල කන්ද සහ හෝර්ටන් තැන්න


මුහුදු මට්ටමේ සිට 2357 m ක් උසින් නුවර එළිය දිස්ත්‍රික්කයේ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ පිහිටා ඇති තොටුපොල කන්ද ශ්‍රී ලංකාවේ තෙවැනි උසම කන්ද වේ.


හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ සීතල සහ සුළග සහිත දේශගුණික රටාවන්ට අනුවර්තිත පදුරු වලින් කන්ද මතුපිට බොහෝ කොටස් ආවරණය වී පවතී.


පුරාවෘත්තය

රාම,රාවණා පුරාවෘත්තයට නෑකම් කියන, සිංහල NdIdfjka "ගොඩබැස්ස තැන" යනුවෙන් හැදින්වෙන තොටුපොල කන්දේ විශේෂත්වය වන්නේ පුරාවෘත්තයට අනුව, ඉන්දියාවේ රජ වූ රාම සහ ඔහුගේ සුන්දර බිරිඳ වූ සීතා මෙම කදුකර වනාන්තරයට ගොඩබැස රහසිගතව එහි ජීවත් ව තිබීම යි.


තොටුපොල කන්දේ දක්නට ලැබෙන මල් සහ ආවේණික ශාක විශේෂ හෝර්ටන් තැන්නේ දක්නට ලැබෙන ශාකවලට බොහෝදුරට සමානකම් තිබෙන අතර එය විශාල තණ බිම්වලින් ආවරණය වූ ජෛව විවිධත්වයකින් පොහොසත්‍ ය.

ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ සත්ත්ව විශේෂ පමණක් නොව, හෝර්ටන් තැන්නට ම ආවේණික වූ සත්ත්ව විශේෂ ද මෙහිදී දැක ගත හැකි ය. ශ්‍රී ලංකා ගෝනුන්,මුවන් සහ ඒකදේශික ක්ෂීරපායින් රංචු වශයෙන් රැස්වන හෝර්ටන් තැන්නේ විවිධ වර්ගවලට අයත් සමනලුන් සහ වළිකුකුලන් ඇතුළු පක්ශි විශේෂ රැසක් බහුලව හමුවේ. පවුල් 150 කට පමණ ආසන්න සමනල විශේෂ 100ක් පමණ මෙම වනෝද්‍යානයෙන් වාර්ථා වී තිබේ.

20 m ක් (අඩි 66) පමණ ඉහලට දිවෙන වන වියන Actinodaphne, Cinnamomum, Litcea වැනි Myrfaceae විශේෂ වන Syzygium tundifalium, S-sclerophyllum සහ Lauraceae සාමාජිකයන්ගෙන් සමන්විත Calophyllum walkari වලින් බිහි වූ ශාක ප්‍රජාවන්ගෙන් ගහන වේ.

Strobilanthes ශාක ප්‍රජාවන්ගෙන් යටිවියන සැකසී ඇති අතර Indocalamus වැනි කුරු උණ විශේෂ සහ Ochlandra ශාක විශේෂ ද යටිවියන් ස්තරයේදී දැක ගත හැකිය

විශාල තැනිතලා පද්ධතියක කොටසක් වන හෝර්ටන් තැන්න අග්‍රාබෝපත්, සදතැන්න සහ එල්ක් තැන්න ද ඇතුළත් වන විශාල වන පෙදෙසක් ආවරණය කරන සුන්දර තැනිතලා බිම් පවතී.

හෝර්ටන් තැන්නේ මෑතකාලීන තර්ජනයක් ලෙසින් මුලින්ම වාර්ථා වන්නේ 1978 දී වනාන්තර මියයාම් තර්ජනයට ලක්වීම යි. විශේෂ වශයෙන් තැන්නේ යාබද ප්‍රදේශවල තෘණ බිම් පෝෂණ ප්‍රදේශ 50% ක් පමණ ආසන්න වශයෙන් දැඩි තර්ජනයකට මුහුණ පා තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස පසෙහි ක්ෂුද්‍ර පෝශක ප්‍රදේශ අසමතුලිතතාවයක් හටගන්නා අතර එය වනාන්තර මියයාමට බොහෝ සෙයින් දායක වී තිබේ.

ප්‍රමුඛ සංචාරක ආකර්ශණ කේන්ද්‍රස්ථානයක් වන ලෝකාන්තය අයත් වන හෝර්ටන් තැන්න ප්‍රසිද්ධ සංචාරක ඉලක්කය කි. හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට පිවිසීමට නම් නුවර එලිය, අඹේවෙල, පට්ටිපොල සහ හපුතලේ, බොරලන්ද මාර්ගයත්, දුම්රිය ස්ථාන ලෙස ඔහිය සහ අඹේවෙල යන දුම්රිය ස්ථානත් භාවිතා කල හැකිය.