Cycle Tour - 2018

Cycle Tour 2018 - Day 1 | Morning Session

Cycle Tour 2018 - Day 1 | Evening Session

Cycle Tour 2018 - Day 2 | Morning Session

Cycle Tour 2018 - Day 2 | Evening Session

ඇවිදීමෙන් ජීවිතය විඳින අපේ නඩේ, පොඩ්ඩක් වෙනස් වෙලා. රෝද දෙකෙන් සවාරියක් යන්න ලකලෑස්තියක්. රෝද දෙක කිව්වම ඉතින් මතක් වුණේ සයිකලේ නම් ඔයා හරි. කාලාන්තරයක් තිස්සෙ තිබ්බ තිත් කොමාවට පස්සේ මටත් වචන හරි බරි ගැහිල කතාවකට. අපි පටන් ගමු ඒ සයිකල් සවාරිය ගැන.

සරසවියෙ රසවිය වගේ නොවුණු නිසා ගමන යන එන එකත් තිබුණෙ නෑ ඒ හැටි විශ්වාසයක්. කොහොම වුණත් පොත් දෙන්න හරි බැරියැ කියල තියෙන තරමක් පොත් දා ගත්තා. පුංචි කාලෙ ඉඳන් ගෙදර අපිත් එක්ක උන්නු අපේම පොත්. එක එක හේතු වලට තෑගි. ඒ අස්සේ රතු ජර්සියත් ඔබා ගත්තෙ මල්ලට පුලුවන් වුනොත් කඳු මැද්දෙන් සයිකලේ පාගන්න හිතේ තිබුනු හීන් ආසාවට ඉඩක් තියලා.

නොයා ඉන්න හිතං ඉන්න කෙනෙක් නොකල යුතුම වැරැද්ද මං එදා කලා. අපේ සංගමේ පියගැට පෙලට ගිහින් ආවෙ ආයෙත් ඒ පරණ මතක සුවඳට චුට්ටක් එබිල බලන්න. ඉතිං කෝම යන්නද කතාවෙන් කතාව අමතක වුනා යන්න ආපු ගමනත්. එතන පොත් ගොඩයි. හිත් ගොඩයි. ඒ පොත් ටිකට පිට කවර දාන ගමන්, අතීත සුවඳත් එක්ක එබිල බැලුව.

එදා හඬමයි අදත්....

උදේ පාන්දර සයිකලෙන් පිට වෙන්න වරම් නොවුනත්, රෑ ජාමෙ අපි කට්ටියක් එහෙට ගොඩ බැස්ස. එහෙ කිව්වෙ ඒ පිටිසර පාසලට. පැය තුනක හමාරක විතර ගමනකින් පස්සෙ අපි ආවෙ. ගිනි මැලේ මඟ හැරිල. ඒත් තවත් දවසක මතක එකතුවක් තියෙන නිසා හිත හදා ගෙන නිදන්නට වුනේ.

සීතල රාත්‍රිය මුලු සිරුරම වෙවුලුවද්දි, කලෙකට පස්සෙ ලබපු ඒ කටුක නින්දෙන් ඇහැරෙන්ට බලාන හිටියෙ ආපු පලාත දැක ගන්ටත් ඕනි නිසා. කණාමැදිරි එලි වගෙ කන්දෙන් පහලට රෑ යාමෙ දැක්ක ගම්මනෙට එලිය වැටිලා.

වෙනදා වගේම දඩි බිඩියෙ උදේ කෑම හැදෙනකොට, පරණ අත්දැකීම් අලුතෙන් දැනෙන්න ගත්තා. එදා හිටි අයම නොවුනත් වටේ, පරණ මතකෙට අලුත් සුවඳක් හැමුවා.හිරු කිරණ ඇවිත් ගන්නෑව කණිශ්ඨ විද්‍යාලෙ සිප ගන්ටත් කලින් පාට පාට ඇඳ ගත්තු පුංචි මල් කැකුළු අමුතු හිනාවකින් ඉස්කෝලෙට දුවන් ආවෙ ලොකු ගේට්ටුවෙන්මත් නෙවේ. අඩි පාරකින්. ඒ පොඩි එවුන් ඊයෙ ඉස්කෝලෙ බදු දීල, සයිකල් සවාරි ආපු අයියල අක්කලා නඩේකට.

ඒ අයියල අක්කල මේ පුංචි පැටව් ටිකට, හරි අපූරු සෙල්ලම් කියල දෙනව. එක තැනක කඹයක් දිගේ ගහක් උඩට නගින්න කියල දෙද්දි, තව තැනක කඹ දිගේ ගහකින් ගහකට යන්න කියලා දෙනවා. මුලින් මුලින් පස්ස ගැහුව පොඩිත්තෝ ටික, ටික වෙලාවකින් අයියල අක්කලගෙ යාලුවො වෙලා, සෙල්ලම් වලට වහ වැටිලා.

සුපුරුදු විදියට දඩිබිඩියේ කෑම හැදුනට, ඒ හැදුනු කෑම ඒ අයියල අක්කල පළවෙනියෙන් දුන්නෙ මේ පොඩිත්තන්ට. ගෙවල් වලින් කාලා ආවට පුංචි බඩගෙඩි වල තව ඉඩ ඉතුරුයි.

ඒත් මේ උත්සහය මේ පොඩි උන්ගේ කුස් පුරවන්න නොවේ. ඒ හිත් පුරවන්න. ඒ හිස් පුරවන්න. ඒ දිලිසෙන ඇස් වලින් ලෝකයක් එලිය කරන්න පුලුවන් බව උන්ට කියලා දෙන්න. ඉතිං මේ පොඩි උන්ට අර එකතු කරන් ආව පොත් පත්, ක්‍රීඩා උපකරණ දීල මේ අයියලා අක්කලා ඉල්ලුවේ නංගියේ මල්ලියේ, එන්න අපි ඉන්න තැනට. යන්න අපිව පසුකරගෙන ඉදිරියට, කියලයි.

හැම අඩියකටම අරුතක්, එකතු කරන්න වගේම හැම බැරෑරුම් වෙහෙසකර කටයුත්තකටම රසයක් එකතු කරන්න දන්න අපේ ඇවිදින නඩේ තවත් අපූරු සමාජසත්කාරයකට පස්සෙ සයිකල් වලට නැග්ගේ සරසවියෙ රසවියේ රසය උපරිමෙන් විඳින්නට අමතක නොකරමින්.

මගේ හිතේ හීන් ආසාව දැන් නම් මාව කොනිත්තන්න පටං අරන්. කඳු පල්ලම් තියෙන්නෙ, ඒත් සයිකලයක්. කඳු පල්ලම දිගේ ලොරියෙ එනට නැග්ගෙ හ්ටිතකින් නෙවේ. ඒත් කොහොමින් හරි සයිකලේ හීනෙත් හැබෑ වෙන බව දැනුනෙ, ඒ සහෝදරත්වය අස්සේ හැබෑ නොවෙන එවන් හීනයක් නැති බව දන්න නිසාමයි.

නිල්ල නිලන කඳු යාය දෑස් සිප ගන්නකොට, සීතල මද නල මුහුණ සිප ගන්නකොට, දැනුණු හැඟීම හිත පතුලෙ තද කරගත්තේ, තවත් කොයි කාලෙකින් මේ සුවය ලබන්නද සැක නිසා.